ධීවර අංශ උපාධිධරයන්ට ජපන් රැකියා


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයේ  උපාධිධාරීන්ට ජපානයේ තාක්ෂණික රැකියා අවස්ථා දීමට ජපාන රජය එකඟතාවයකට පැමිණි බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය  රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පවසයි.

මෙම වැඩපිළිවෙළ ඉදිරියේදී විදේශ රැකියා ක්ෂේත්‍රයට අදාළ අංශ සහ තානාපති කාර්යාලය හරහා සම්බන්ධීකරණය කර කඩිනමින් ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශවයම මෙහිදී තීරණයකට එළඹ තිබේ.

මෙහිදී ධීවර ක්ෂේත්‍රය නවීකරණයට ජපාන රජය සමඟ විශේෂ එකඟතාවකට එළැඹි බවද චන්ද්‍රසේකර් මහතා සඳහන් කරයි.

ජපානයේ නිල සංචාරයක නිරත ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය  රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ ජපානයේ කෘෂිකර්ම, වන විද්‍යා හා ධීවර රාජ්‍ය අමාත්‍ය  නෙමොටෝ යුකිනෝරි මහතා අතර ටෝකියෝ නුවර පිහිටි ජපාන ධීවර අමාත්‍ය කාර්යාලයේ 

පැවැති ප්‍රතිපත්තිමය මට්ටමේ  සාකච්ඡාවකදී මෙම එකඟතාවලට එළඹ තිබේ.

දෙරට අතර ධීවර, ජලජීවී වගා සහ සාගර සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය. එහිදී ශ්‍රී ලංකාවේ මුහුදු ආහාර අගය එකතු කිරීමේ දාමය  ප්‍රවර්ධනය කිරීම සහ ජපානයෙන් අවශ්‍ය තාක්ෂණික සහය ලබා ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

එසේම, ජපාන වෙළෙඳපොළේ  ශ්‍රී ලංකාවේ මුහුදු ආහාර සඳහා පවතින ඉල්ලුම තවදුරටත් වර්ධනය කරගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

මෙම අවස්ථාවට ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක කුමාරසිංහ සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස යන මහත්වරුන් ද සහභාගී වූහ.