(යොහාන් භාසුර)
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොළඹ 2 පිහිටි ප්‍රධාන කාර්යාලය ආසන්නයේ කුලී පදනම මත ලබාගෙන ඇති ‘ස්කවුට්’ ගොඩනැගිල්ලේ විදුලි බිල නොගෙවීම හේතුවෙන් අද (20) පෙරවරුවේ විදුලිය විසන්ධිකිරීම නිසා එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට රාජකාරි කිරීමට නොහැකි විය.
මෙම ගොඩනැගිල්ලේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 150 ක් පමණ සේවය කරන බවත් එම සියලුම නිලධාරීහු අද දිනයේ ගොඩනැගිල්ලෙන් පිටතම රැදී සිටියහ.
මාස දෙකක පමණ කාලය තුළ මෙම ගොඩනැගිල්ලේ විදුලි බිල නොගෙවීම නිසා විදුලි විසන්ධි කළ දෙවැනි අවස්ථාව මෙය වන අතර මෙහිදී රුපියල් ලක්‍ෂ 9 ක විදුලි බිලක් ගෙවීම පැහැර හැර ඇති බව වාර්තා වේ.
විදුලිය විසන්ධි කිරීමත් සමඟ විදුලි ආලෝකය, පරිගණක පද්ධතිය, ජල සැපයුම සහ විදුලි පංකා ඇතුළු සියලු සැපයුම් විසන්ධි වීමෙන් එහි සියලුම දෙනා දැඩි අපහසුතාවට පත්වූ බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය.
මීට මාස දෙකකට පමණ පෙර ද රුපියල් ලක්‍ෂ තුනහමාරක පමණ විදුලි බිලක් ගෙවීම පැහැර හැරීම නිසා විදුලි විසන්ධි කිරීමෙන් පසුව රුපියල් 60,000 ක ඉන්ධන වැය කරමින් විදුලි ජනන යන්ත්‍රයකින් විදුලි ලබාගත් බව ද එම දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති පවසයි.

