දෙකෝටියක රට සල්ලි පස්සෙන් එළියට


රුපියල්   දෙකෝටි විසි අට ලක්ෂ අනූ අට දහසක් විටිනා රට සල්ලි  උපත් පාලන කොපු තුනක බහා ශරීරයේ   සගවාගෙන සිංගප්පූරුවට ගෙන යාමට උත්සහ කළ ශ‍්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක්  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී     අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා  පැවසුවේය.

සැකකරු 53 වෙනි  වියේ පසුවන මීගමුව ප‍්‍රදේශයේ පදිංචි මොටර් රථ අමතර කොටස් ව්‍යාපාරිකයෙකු බව රේගුව කියයි.


සැකකරු  ඇවිදින ආකාරය  පිළිබඳ සැක සිතී සහකාර රේගු අධිකාරි දුමිදු  සිරිසේන මහතා විසින් ඔහු අත්අඩංගුවට ගෙන මීගමුව රෝහලට ගෙන ගොස් එක්ස් කිරණ පරික්ෂනයකට යොමු කොට මෙම මුදල් ඔහුගේ ගුද මාර්ගයේ තිබී ඉවතට ගෙන ඇත.

අත්  අඩංගුවට ගත් විදේශීය මුදල් අතර යූරෝ  පන්සීයේ කොළ 230 ක්  සහ ස්විස් ප‍්‍රෑන්ක් දාහේ කොළ විසි එකක් තිබූ බව රේගුව කියයි.

මෙම මුදල් සිංගප්පූරුවට ගෙන ගිය විට තමන්ට රුපියල් හැත්තෑපන් දහසක කොමිස් මුදලක් ලැබෙන බව මොහු රේගුවට පවසා ඇත.

සැකකරු කැතී පැසිපික් ගුවන්සේවයට අයත් සී.එක්ස් 710 දරණ ගුවන්යානයෙන් මෙරට සිට සිංගප්පුරුව බලා යාමට ඊයේ රාත්‍රියේ 10 ට  පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී ඊ.එම්. ඕ දි සේරම් සහ සහකාර රේගු අධිකාරීවරුන් වන දුමිදු සිරිසේන, ජී.පී.එස් පෙරේරා, එස්.කේ.එස්.කේ ගමගේ, ආර්.එම්.එන්.පී බංඩාර, එච්.ඞී.එස්.සී පෙරේරා, පී.එච්.යූ.අයි විජේපාල, ඞී.එන්.එන්.ජේ සමරසේකර යන නිලධාරීහු සිදු කරති.