දූවිල්ලෙන් සැදුන ලියේ...


ගායක ගායිකාවන්, ලේඛක ලේඛිකාවන්, නළු නිළියන්  පොදුවේ කලාකාරයන්. ජනපි‍්‍රයත්වයට පත්වන්නේ කිසියම් එක් නිර්මාණයක් නිසාය. එම නිර්මාණය ඔවුනට වාසනාව උදාකළ නිර්මාණය ලෙස ඔවුන් ජීවිත කාලය පුරාම හඳුන්වන්නේය. වාසනාව ගෙනා ගීය ලෙස අප නම්කළ මේ විශේෂාංගය, ගායකයකුගේ හෝ ගායිකාවකගේ ජීවිතය වෙනස් කරමින් සුවිශාල ජනපි‍්‍රයත්වයක් ළඟා කළ ගීතය සහ ඔවුන් එතෙක් කල් පැමිණි මග  ගැන කෙරෙන හෙළිදරව්වකි.

අද වාසනාව ගෙනා ගීය ගැන කතාකරන්නේ ප‍්‍රදීපා ධර්මදාස ගායන ශිල්පිනියයි.

20170202Pradeepa-1ඒ 1981 අවුරුද්ද.

මම ඉගෙන ගත්තේ කොළඹ සුජාතා විද්‍යාලෙ...

මට මතක හැටියට ඒ වෙනකොට මගේ වයස අවුරුදු දාසයක් විතර. ඔන්න ඉතින් අපේ ස්කෝලෙ සඳකිඳුරු නාට්‍යය නිෂ්පාදනය කළා... මේ නාට්‍යයේ ප‍්‍රධාන චරිතය ඒ කින්නේ සඳකිඳුරිගේ භූමිකාව රඟපාන්න තෝරාගත්තෙ මාව.

ඔය සඳකිඳුරු නාට්‍යය ගුණසේන ගලප්පත්තිගේ නිර්මාණයක්. නමුත් එහි නව නිෂ්පාදනය කළේ සෝමලතා සුබසිංහ මහත්මියයි.

 ඉතින් මේ සඳකිඳුරිගේ චරිතයට නිළියක් තෝරා ගන්න, ළමයින් ගණනාවක්ම සම්මුඛ පරීක්‍ෂණවලට යොමුකළා. ඒත් අන්තිමේදී ඒ වාසනාව ලැබුණේ මට.

ඊට අවුරුදු දෙකකට විතර පස්සෙ සෝමලතා සුබසිංහ මහත්මිය ළමා හා යොවුන් රංග පීඨය නමින් නාට්‍ය පාසලක් ආරම්භ කළා. ඒකෙන් පළමුවැනි නාට්‍යය නිෂ්පාදනය වුණේ විකෘති... 1984 දී මූදු පුත්තු නාට්‍යයේ නව නිෂ්පාදනයක් කළා. ඒ නාට්‍යයේ රඟපෑවෙ ප‍්‍රසිද්ධ වේදිකා නාට්‍ය ශිල්පීන්. සුනේත‍්‍රා, සරච්චන්ද්‍ර, නිහාල් ප‍්‍රනාන්දු, සිරිල් වික‍්‍රමගේ වගේ අය. ඒ අස්සෙ මටත් චරිතයක් රඟපාන්න අවස්ථාවක් ලැබුණා. ඒක මට ආඩම්බර වෙන්න තරම් කාරණාවක් වුණා. කොහොමහරි මූදු පුත්තු නාට්‍යයේ හින්නිහාමි වුණේ මම.

ඔය විදිහට වේදිකාවෙ ප‍්‍රසිද්ධ නිළියක් බවට පත්වෙන්න මට වාසනාව ලැබුණා. ඒ එක්කම මට නාට්‍ය ගලාගෙන එන්න පටන් ගත්තා. අතුල පීරිස්ගෙ සුබ සරණාගත. සාලමන් ෆොන්සේකාගෙ සක්විති නික්මණ වගේ නාට්‍යවලත් මම රඟපාන්න පටන් ගත්ත.

 ඔන්න ඔය කාලෙම තමයි විජිත ගුණරත්න සත්‍යාංගනාවි කියන නාට්‍යය නිෂ්පාදනය කළේ. මේ නාට්‍යයේ සංගීතය නිර්මාණය කළේ කේමදාස මාස්ටර්, මේ නාට්‍යයේ තිබුණේ චරිත තුනක් විතරයි. පිරිමි චරිතෙයි ගෑනු චරිත දෙකයි.

මේ නාට්‍යයේ තිබුණු විශේෂම දේ තමයි ඔපෙරා ආරේ ගීත රාශියක්ම ගායනා කරන්න තිබීම. කේමදාස මාස්ටර් කියන්නෙ ඔපෙරා වලටම උපන්න කෙනෙක්නෙ. ඉතින් මම හුඟාක් සාර්ථක විදිහට මේ ඔපෙරා ගීත ගායනා කරමින් රඟපෑවා. මගේ ගීත ගායනා ගැන කේමදාස මාස්ටර් පැහැදීමකින් හිටියෙත්.

ඔන්න ඔය කාලෙදි තමයි ජයන්ත චන්ද්‍රසිරි, වෙද හාමිනේ කියන ටෙලිනාට්‍ය නිර්මාණය කළේ.... වෙද හාමිනේ නාට්‍යයේ වෙදහාමිනේගේ චරිතය රඟපෑවෙ රෙබෙකා නිර්මලී... වෙද හාමිනේ නාට්‍යයෙ තේමා ගීතයක් තිබුණා. මේ නාට්‍ය කළ ජයන්ත චන්ද්‍රසිරි මේ තේමා ගීතය ගයන්න ගායිකාවක සොය සොයා ඉන්නකොට කේමදාස මාස්ටර් තමයි මගේ නම යෝජනා කරල තිබුණෙ. අන්තිමෙදී ජයන්ත චන්ද්‍රසිරි වෙද හාමිනේ ටෙලිනාට්‍යයෙ තේමා ගීතය ගායනා කරන්න මට ඉඩ දුන්නා. ඒ තේමා ගීතය තමයි

20170202Pradeepa-2දූවිල්ලෙන් හැදුන ලියේ

බාලොලියේ බාලලියේ.

මේ කාලෙදි ලංකාවටම තිබුණෙ රූපවාහිනී නාලිකා තුනයි. අයි.ටී.එන්., ජාතික රූපවාහිනිය සහ ටී.එන්.එල්. මේ නිසා ජාතික රූපවාහිනියෙන් විකාශය වෙන ටෙලිනාට්‍යවලට ලොකු ඉල්ලූමක් තිබුණා. අද වගේ සතියකට ටෙලිනාට්‍ය අනූවක් විතර විකාශය වෙන තත්ත්වයක් ඒ කාලෙ තිබ්බෙ නැහැ. ඉතින් විකාශය වෙන ටෙලිනාට්‍ය හතර පහ රසිකයො හුඟාක් ආදරයෙන් වැළඳ ගත්තා.

වෙද හාමිනේ ටෙලිනාට්‍යයෙ ප‍්‍රධාන චරිතය රඟපෑව රෙබෙකා නිර්මලීව වගේම එහි තේමා ගීතය ගායනා කළ ප‍්‍රදීපා නිර්මලීවත් රසිකයො ආදරෙන් වැළඳ ගත්ත.

වේදිකා නිළියක ලෙස එච්චර කාලයක් පෙනී සිටිය මාව ගායිකාවක විදිහට රටම පිළිගත්තා.

1988 අවුරුද්දෙදි, කපිල කුමාර කාලිංග, නෙළුම් පොකුණ කියන වේදිකා නාට්‍ය නිර්මාණය කළා. මේ නෙලූම් පොකුණෙ ගීත රාශියක්ම අන්තර්ගත වුණා. ඒ ගී ගයන්න තිබුණේ ප‍්‍රධාන නිළියට සහ නළුවාට.... ප‍්‍රධාන නළුවා වුණේ එච්.ඒ. පෙරේරා... එච්.ඒ. එක්ක මේ ගීත ගායනා කරන්න පුළුවන් නිළියක් තමයි කපිල හොයල තියෙන්නෙ. මගේ දූවිල්ලෙන් සැදුනු ලියේ ගීතය ඇහුනට පස්සේ නෙළුම් පොකුණට ගැලෙපන්නෙම මං වගේ නිළියක් කියන අදහස කපිලගෙ ඔලූවට ඇවිත්.

ඇත්තටම නෙළුම් පොකුණෙත් මම හුඟාක් කැමත්තෙන් සතුටින් රඟපෑවා.

ඒ එක්කම කපිල නිර්මාණය කළ ඒකාංගික ටෙලිනාට්‍යයක තේමා ගීතය ගයන්නත් මාව තෝරාගත්තා. ඒ ගීතය ගායනා කළේ අමරසිරි පීරිස් එක්ක. ඒ ගීතය තමයි රතුරෝස මලක් පිපේවී.....

අනූව දශකය පටන්ගත්තේ කැසට් එක්ක. කැසට් රෙකෝඩර් එක ලංකාවට පැමිණීමත් එක්ක නා නා ප‍්‍රකාර ගීත කැසට් බිහිවෙන්න පටන් ගත්තා. කැසට් නිෂ්පාදකයොත් මහගොඩක් බිහිවෙලා.  ඔන්න ඉතින් රංජිත් ලියනගේ කියන කැසට් නිෂ්පාදකයා මට යෝජනා කළා මගෙත් කැසට් එකක් කරන්න. මේ කැසට් එකේ ගීත දොළහක් අඩංගුයි. ඒකෙන් ගීත හයක් කේමදාස මාස්ටර්ගෙ සංගීතයෙනුත්, ගීත හයක් රෝහණ වීරසිංහගෙ සංගීතයෙනුත් තමයි රසවත් වෙන්නෙ.

මේ කැසට් පටියෙ නම දූවිල්ලෙන් වැසුණු ලියේ...

මොකද මේ වෙද්දී මේ ගීතය හුඟාක්ම ජනපි‍්‍රයයි. ගුවන් විදුලි නාලිකාවල එහෙම මේ ගීතය නිරතුරුවම වාදනය වුණා. මේ කැසට් පටයෙ තිබුණෙ පේ‍්‍රම ගීතම නෙමෙයි ඒ කාලෙ රටේ කතාබහට ලක්වුණු විවිධ සිදුවීම් ගීයට නැගිලා තිබුණෙ.

හා හා බලාගෙනයි,

කොලොම්තොටින් නැව් නැග්ගා

අපේ රටේ මනුස්සකම,

මේ ගීතයෙන් කතා වුණේ ඒ කාලෙ අපේ රටේ බහුලව තිබුණු කිරිදරු ජාවාරම ගැන.

එතකොට ඉරණවිල ඇමෙරිකානු හඬට එරෙහිව ලියැවුණු බලන් අවරඟ පිපුණු ඉරමල ගීතය.

මේ කාලෙ ගොවි ණය ගෙවාගන්න බැරිව ගොවියො වසබීව සිද්ධි ගැන ලියැවුණු මදුරාඔය පාමුල කියන ගීතය. සරසවි  සිසුන්ට රැුකියා නැතිවීම ගැන ලියැවුණු සැබෑ උගත්තු ගීතය.

 මේවගේ විවිධ ගීත තිබුණු මේ කැසට් පටියෙ ගීවලින් ගීත හයක්ම රාජ්‍ය ගුවන්විදුලි මාධ්‍යයෙ ප‍්‍රචාරය කිරීම තහනම් කළා.

හැබැයි ඒ තහනමත් එක්ක මගේ කැසට් එක හොඳට විකිනෙන්න පටන් ගත්තා.

 ඊට පස්සෙ තවත් කැසට් පට බිහිවුණා. ඒ වගේම කැසට් යුගය අවසන් වෙලා. සී.ඞී. යුගය එනකොට මගේ පරණ කැසට් සී.ඞී. බවට පරිවර්තනය වුණා. කොහොම හරි මගේ ගී එකතු කිහිපයක්ම මේ වෙනකොට නිකුත්වෙලා තියෙනවා. දුහුවිල්ලෙන් සැදුන ලියේ, කඳුළු තොටුපොල, සත්‍යංගනා සහ හැන්දෑවට කලින් එන්න එයින් කිහිපයක්.

ශාන්ත කුමාර විතාන

 

දූවිලි ........... දූවිලි දූවිලි දූවිලි

දූවිලෙන් හැදුන ලියේ බාලෝලියේ බාලලියේ//

 

වෙන වයනා මිනිස්සුන්ට

වීණාවක් ගෙනත් දෙන්න//

දූවිල්ලෙන් හැදුන ලියේ

බාලොලියේ බාලලියේ

 

ගී ගයනා මිනිස්සුන්ට

පැන් තලියක් ගෙනත් දෙන්න

දූවිල්ලෙන් හැදුන ලියේ

බාලෝලියේ බාලලියේ

 

ගී අහන්න මිනිස්සුන්ට

පන් පැදුරක් එලා දෙන්න//

දූවිලෙන් හැදුන ලියේ

බාලෝලියේ බාලලියේ//

 

දූවිල්ලෙන්.....//

දූවිලි.... දූවිලි දූවිලි දූවිලි