(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මෙරට දුම්රිය මාර්ගයන්හි භාවිතයට ගැනීමට නොහැකි දුම්රිය මැදිරි එකසිය තුනක් ඉන්දියාවෙන් ගෙන්වීමෙන් සිදුවී ඇතැයි කියන විශාල මුදල් නාස්තියක් සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබද පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා) දැඩි අප්‍රසාදය පළවී ඇත.
ඉන්දියාවෙන් ගෙන්වූ දුම්රිය මැදිරි 160කින් 103ක්ම මෙතෙක් භාවිතයට යොදා ගෙන නැතැයි කෝපා කමිටුව චෝදනා කරයි.
මේ සම්බන්ධයෙන් එම කමිටුව කළ විමසුමකදී දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රධානින් පවසා ඇත්තේ මෙරට දුම්රිය මැදිරිවල පවතින්නේ වැකියුම් බ්‍රේක් (Vacuum Break) ක්‍රමවේදය බවයි.
නමුත් මෙම අලුත් දුම්රිය මැදිරිවල පවතින්නේ එයා බ්‍රේක් (Air Break) ක්‍රමවේදය බවද ඔවුහු පෙන්වා දුන්හ.
මේ රටට නොගැළපෙන දුම්රිය මැදිරි ගෙන්වීමට අනුමැතිය දුන්නේ කවුරුන්දැයි සාමාජික මන්ත්‍රීවරු මෙහිදී විමසා සිටියහ. එම තීරණය ගත් නිලධාරීන් මේ සඳහා වගකිව යුතු බවද ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.
තවද 2017 වර්ෂයේදී ඉන්දීය ණය සහනාධාර යටතේ මෙරටට ගෙන්වීමට සැලසුම් කර තිබූ දුම්රිය මැදිරි වසර ගණනක් ප්‍රමාදවී ගෙන්වීම පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.
මේ පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ පොදු මහජනතාවට කාර්යක්ෂම ප්‍රවාහන සේවාවන් සැපයීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය යටතේ සැලසුම්කර ඇති වර්තමාන සහ අනාගත සැලසුම් පරීක්ෂා කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එම කාරකසභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (05) වැනිදා රැස්වූ අවස්ථාවේදීය.
මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ලං.ග.ම. බස්රථ සඳහා ටයර් සහ අනෙකුත් උපාංග මිලදී ගැනීම ගැටලු සහගත තත්වයක පවතින බවද කෝපා කමිටුවේදී තොරතුරු අනාවරණය විය .
මේ අතර ඇතැම් පෞද්ගලික බස් රථ සඳහා නිකුත් කෙරෙන ඩීසල් වැඩි මිලට අලෙවි කෙරෙන බව අමාත්‍යාංශ නිලධාරීන් චෝදනා කර ඇත.
මෙහිදී කාරක සභාව පෙන්වා දී ඇත්තේ මෙම තත්වය පාලනය කර මහජනතාව අපහසුතාවට පත්වීම වළක්වාලිය යුතු බවයි.
තෙල් ලබාගන්නා බස්රථ ධාවනයේ යෙදෙන්නේද යන්න පිළිබඳව පරීක්ෂාකිරීමට ක්‍රමවේදයක් සකස් කළ යුතු බව කමිටුව පෙන්වා දුන්නේය . විශේෂයෙන්ම ජී.පී.එස්. තාක්ෂණය බස්රථ සඳහා යෙදවීම සම්බන්ධයෙන්ද මෙහිදී සකච්ඡා විය.
එසේම ලං.ග.ම. බස් ඩිපෝවලට අයිති තෙල් පිරවුම්හල් මගින් පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් ලබාදීම පිළිබඳවද දීර්ඝව සාකච්ඡා කෙරිණ .
මීට අමතරව 2017 වසරේ ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ප්‍රධාන මත සැලසුම් කළ ශ්‍රී ලංකා දුම්රිය ප්‍රධාන සැලැස්මට ඇ.ඩො. 1,056,555 ක් වැය කළද එම ප්‍රදානය අමාත්‍යාංශයේ අයවැය තුළ හෝ මූල්‍ය ප්‍රකාශන තුළ ඇතුළත් නොවීම පිළිබඳවද සාකච්ඡාවට බඳුන් විය.මේ අනුව මේ පිළිබඳ වාර්තාවක් වහාම ලබාදෙන ලෙස කෝපා කමිටුව දුම්රිය දෙපාර්තමේන්තුවට නිර්දේශ කළේය.
දුම්රිය ප්‍රවාහන කටයුතු නව තාක්ෂණය සමග මුසු කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
මෙම කාරක සභා රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, ලසන්ත අලගියවන්න, දයාසිරි ජයසේකර, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, නිරෝෂන් පෙරේරා, දුමින්ද දිසානායක, වීරසුමන වීරසිංහ, වෛද්‍ය උපුල් ගලප්පත්ති, බී.වයි.ජී. රත්නසේකර සහ ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.