(යොහාන් භාසුර සහ ඩයනා උදයංගනී)
දුම්රිය රැසක් ඊයේ (28) පස්වරුවේ සිට අවලංගු කිරීමෙන් මගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.
දුම්රිය රැසක් අද පෙරවරුවේ අවලංගු කිරීමෙන් පෞද්ගලික අංශයේ සේවයට පැමිණෙන ජනතාව දැඩි අපහසුතාවට පත්වූ අතර කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් මඩකළපුව සහ කන්කසන්තුරේ ආදි ප්‍රදේශ රැසකට ධාවනය කරන දුරගමන් සේවා දුම්රිය රැසක් ද අවලංගු කිරීමෙන් කලින් ප්‍රවේශපත් වෙන්කරගත් මගීන් ඇතුළු මගීන් දැඩි අපහසුතාවට පත්ව සිටිති.
මේ දිනවල පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් බස් රථ ධාවනය අඩුවීමත්, පෞද්ගලික වාහනවලට ඉන්ධන නිකුත් නොකිරීමත් හේතුවෙන් දුම්රියේ ගමන් කරන මගීන් සංඛ්‍යාව ද විශාල වශයෙන් ඉහළ ගොස් ඇති අතර, ධාවනය වීමට නියමිත දුම්රියද අවලංගුවීම නිසා ධාවනය වූ දුම්රියවල මගීන්ට ගමන් කිරීමට සිදුවූයේ දුෂ්කරතා මධ්‍යයේය.
ඇතැම් මගීන් දුම්රිය පාපුවරුවේ මෙන්ම වහලය මත ද නැගී ඉතා අවදානම් අයුරින් ගමන් කළහ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ඊයේ රාත්‍රී 9.45 ට පොල්ගහවෙළ දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය හදිසියේ අවලංගු කිරීමෙන් අපහසුතාවට පත් ජනතාව කොටුව දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලයට විරෝධය දැක්වූ බව ද වාර්තා වේ.
(ඡායාරූප: ඩයනා උදයංගනී)