දිස්ත්‍රික්ක 18 ක ජනතාව පානීය ජලය නොමැතිව පීඩාවට


(ඩයනා උදයංගනී)

දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට වැසි ලැබුණත් දිස්ත‍්‍රික්ක 18 ක ජනතාව තවමත් පානීය ජලය නොමැතිව පීඩා විඳින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙම දිස්ත‍්‍රික්ක 18 හි පවුල් 2,30,578 කට අයත් 7,78,474 ක පිරිසක් මෙම නියඟය හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

රත්නපුර, පුත්තලම, කුරුණෑගල, වව්නියාව, යාපනය, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව්, මාතලේ, නුවර, හම්බන්තොට, පොලොන්නරුව, අනුරාධපුරය,අම්පාර ත‍්‍රිකුණාමලය මඩකලපුව මොණරාගල සහ බදුල්ල යන දිස්ත‍්‍රික්කවල ජනතාව තවමත් මෙලෙස පීඩාවට පත්ව සිටින බව ඔහු සඳහන් කළේය.

එම දිස්ත‍්‍රික්කවලට ද මේ වන විට තරමක වැසි තත්ත්වයක් බලපා ඇති නමුත් ප‍්‍රමාණවත් තරම් වැසි නොලැබීම නිසා ජනතාවට තවමත් පානීය ජලය බෙදාදීමට සිදුව ඇතැයි ඔහු පැවසීය.

ජාතික ආපදා සහන සේවා අධ්‍යක්ෂ චමින්ද පතිරාජ මහතා පැවසුවේ එම දිස්ත‍්‍රික්ක සඳහා ජල බවුසර් හා ටැංකි යොදාගනිමින් පානීය ජලය ලබාදීමේ කටයුතු සිදුකරන බවයි.

එම දිස්ත‍්‍රික්කවල නියඟයෙන් සිදුව ඇති වගා හානි පිළිබඳව මෙතෙක් ගණනය කර නොමැති බව ද චමින්ද පතිරාජ මහතා පැවසීය.