(හර්ෂණ තුෂාර සිල්වා)
දකුණු ආසියානු කලාපයේ රටවල් සමඟ සමීප සබඳතා පවත්වා ගැනීම ශ්‍රී ලංකා විදේශ ප්‍රතිපත්තියේ මූලික අංගයක් යැයි විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කොළඹ දී පැවැසීය.
කලාපීය සහයෝගීතාව ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා න්‍යාය පත්‍රයේ වැදගත් අංගයක් බවත් ආර්ථික අවස්ථා, ආයෝජන සහ ආර්ථික වර්ධනය කළ හැක්කේ කලාපීය සහයෝගීතාව තුළින් බවත් ගුණවර්ධන මහතා ඊයේ (11) කීවේය.
‘සමාජ ආර්ථික සහ සහසම්බන්ධය තුළින් කලාපීයත්වය ශක්තිමත් කිරීම’ යන තේමාව යටතේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවැති සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම කරුණු කීවේය. ‘කලාපීය සහයෝගීතාව සඳහා වන දකුණු ආසියානු සංවිධානයේ (සාර්ක්)’ ප්‍රඥප්තියට වසර 35ක් පිරීම නිමිත්තෙන් මෙම සමුළුව පැවැත්විණි.
වෙළෙඳාම හා ආයෝජන සාර්ක් කලාපයේ ප්‍රමුඛතම ක්ෂේත්‍ර වුවත් ආරක්ෂාව අමතක කළ නොහැකි බව ද ගුණවර්ධන මහතා කීවේය. ආරක්ෂාවට ද ඒ හා සමානම වැදගත්කමක් හිමිවන බව ද හෙතෙම කීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ ද කීය.
“එක් අතකින් සාර්ක් ප්‍රඥප්තිය ඓතිහාසික ලියවිල්ලක්. අපේ කලාපයේ අපේ රටවල ජනතාවගේ ජීවිත වෙනස් කිරීම, ජීවිත වඩ වඩාත් උසස් කිරීම සඳහා අපේ නායකයෝ එක්වුණා. අපේ ජනතාවගේ ජීවිත වෙනස් කිරීමට අපේ නායකයෝ එකතුවුණු තැන එහෙමත් නැතිනම් ආරම්භය සාර්ක් ප්‍රඥප්තියයි.
අපේ ජනතාවට සාමය, සෞභාග්‍ය සහ ආර්ථික වර්ධනය උදා කිරීමත් අපේ රටවල් අතර ඉතා හොඳ අවබෝධයක් ඇති කරගැනීම, තේරුම් ගැනීම සහ සහයෝගීතාව වැඩි කරගැනීම සාර්ක් ප්‍රඥප්තියේ අරමුණු බවත් සඳහන් කළ යුතුයි.
සාර්ක් ප්‍රඥප්තියට අත්සන් කර වසර 35ක් ගෙවී ගොස් තිබෙනවා. එක අතකින් එය දීර්ඝ කාලයක්. අපේ අසල්වැසි ආසියානු රටවල සහභාගීත්වයෙන් නිර්මාණය කරන ලද ආසියාන් සංවිධානයට වසර 50කටත් වැඩියි.
ලෝක ආර්ථිකයේ ආසියානු සියවස ආරම්භ වෙමින් තිබෙනවා. අනාගත ලෝකයේ ඉහළ ආර්ථික වර්ධන වේගය නිර්මාණය වෙන්නේ ආසියාවෙන්. ඒ හැකියාව තිබෙන්නේ ආසියාවට. ලෝකයේ වේගයෙන්ම වර්ධනය වෙන ආර්ථිකය තිබෙන්නේ ආසියාවේ. වේගවත් ආර්ථික ක්‍රියාකාරකම්, වාණිජ්‍ය සහ වෙළෙඳාම සිදුවන්නේ ආසියාවේ. මෙතැන සිටින කවුරුවත් ඒ ගැන විරුද්ධ වෙන එකක් නැහැ. ආසියානු සංචාරය ආරම්භ වී තිබෙන අපි කවුරුත් දන්න දෙයක්. ලෝකය පිළිගත් සත්‍යයක්.

