තෙල්‌ පෝලිමේ වලියෙන් අයෙක් මරුට: තිදෙනකුට බරපතළයි


(ඉන්දිකා රාමනායකඩී.ජී.සුගතපාල,සිරංගිකා ලොකුකරවිට, ජේ.ඩබ්ලිව්.කේ ප්‍රේමතිල සහ ජේ.කේ.එල් චාමින්ද)

ගාල්ල මාගාල්ල ලාෆ් ඉන්ධන පිරවුම්ලේ පෝලිමේ සිටි දෙපිරිසක් අතර ඊයේ ( 07) රාත්‍රි ඇතිවු ආරවුලකදි එක් අයෙකු මියගොස් තවත් තිදෙනෙකු බරපතළ  තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කීය.

මෙසේ මියගොස් ඇත්තේ හබරාදුව වංචාවල යටගල පදිංචිව සිටි 25 හැවිරිදි පුද්ගලයෙකි.

ඊයේ රාත්‍රි ඉන්ධන පෝලිමට පැමිණි බටදුව ප්‍රදේශයේ පුද්ගලයෙකු තම මෝටර් රථය මිතුරෙකුගේ වෙළඳසලක් ඉදිරිපිට ඉඩ තිබු ස්ථානයකින් පෝලිමට ඇතුලු කිරිමට උත්සාහ කළ අවස්ථාවේ පෝලිමේ පිටුපස සිටි පිරිසක් එයට විරෝධය පළකර ඔහු සමග ගැටුමක් ඇතිකරගෙන ඇති අතර පසුව ඔහු ඒ බව තම හිතවතුන් කිහිප දෙනෙකුට පවසා තිබේ.

ඒ සමග පැමිණි පිරිසක් මෝටර් රථයේ රියදුරට  හිරිහැර කළ පුද්ගලයින්ට පහරදිමට පටන්ගෙන ඇති අතර එහිදි පෝලිමේ සිටි තිදෙනෙකුද පහරදිමට පැමිණි කණ්ඩායමේ එක් අයෙකුද බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු රාත්‍රි 12.30ට පමණ මෙම පුද්ගලයා මියගොස් ඇති බව පොලිසිය පැවැසීය.

සිද්ධය සම්බන්ධයෙන් ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මයුුර පෙරේරා මහතාගේ උපදෙස් පරිදි සැකකරුවන් අත් අංගුවට ගැනිම සඳහා  වරාය පොලිසිය විසින්  පරික්ෂණ පවත්වා  ගෙන යනු ලැබේ. 


(ඡායාරූප: ජේ.කේ.එල් චාමින්ද)