තෙල් නැතුව දොස්තරලාත් මහ පාරේ


(සුජිත් හේවාජුලිගේ)

රටපුරා වෛද්‍යවරුන්,නීතිඥවරුන් , ඉංජිනේරුවරුන් ඇතුළු විවිධ වෘත්තීයවේදීන් දහස් ගණනක්ද  ඉන්ධන පෝලිම්වල පැය ගණන් කාලය ගත කරමින් දැඩි දුෂ්කරතාවයට  පත්ව සිටින බව වාර්තා වේ.

මේ හේතුවෙන් ඔවුන්ගේ රාජකාරි කටයුතුවලටද  දැඩි බලපෑමක්   එල්ලවී ඇතැයි  එම ක්ෂේත්‍රවල ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

ඉන්ධන පෝලිම්වල ඒකරාශීවී සිටින  වැඩි පිරිසක්  වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය වෘත්තිකයෝ වෙති.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසූවේ  තමාද බොරැල්ලේ  ඉන්ධන පිරවුම් හලක පැය තුනකට වැඩි කාලයක් ගත කර තෙල් නිකුත් කෙරෙන පොම්පය  අසලට එද්දී තෙල් අවසන්ව ඇතැයි පැවසීම නිසා  එම ස්ථානයෙන් අද (15) දහවල්  පිටව ගිය බවයි.

මහරගම අපේක්ෂා රෝහලේ  විශේෂඥ වෛද්‍යවරියකවන  තම බිරිඳද ඒ  පෝලිමේම  පිටුපස  සිට  ඉන්ධන අවසන්වීම හේතුවෙන්   පිටව ගිය බව  හෙතෙම සඳහන් කළේය.

වෛද්‍ය වෘත්තිකයන්වන තමන්ට ඉන්ධන ලබා ගැනීමේදී ලැබෙන ප්‍රමුඛත්වය  ගැන සෑහීමට පත්විය නොහැකි බව  විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය වෘත්තිකයන් රැසක් ඉන්ධන පෝලිම්වලට එක්වී සිටීම නිසා රෝහල් වැඩකටයුතුවලටද  විශාල බාධාවක්වී ඇතැයි   රෝහල් අධ්‍යක්ෂවරු   කීපදෙනෙක් ලංකාදීපයට පැවසූහ.

ඉන්ධන හිඟය උග්‍රවීම නිසා ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් පෙර නොවූ විරූ ආකාරයට  දිගුවී තිබෙනු  අද දැකගත හැකිවිය.