(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංක)
කිලිනොච්චිය,විශ්වමඩු ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හළක් අසළ ඇති වු නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීමට යුද හමුදාව අහසට වෙඩි තබා ඇති බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි.
ඉන්ධන ලබා ගැනීමට පැමිණි පිරිසක් හා යුද හමුදා සාමාජිකයන් පිරිසක් අතර එලෙස නොසන්සුන්කාරී තත්වයක් හටගෙන තිබිණ.
ඉන්ධන ලබා ගැනීමට පැමිණි පුද්ගලයකු යුද හමුදා රාජකාරියට බාධා කරමින් හැසිරුණ සිදුවීමක් මුල් කර ගනිමින් නොසන්සුන්තාවය හටගෙන ඇති බව ප්‍රදේශවාසීන් පැවසීය.
අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ අවස්ථාවේ,ඉන්ධන පිරවුම්හළ අසළ සිටි පිරිස් යුද හමුදා නිළධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් යුද හමුදා නිළධාරීන්ට බෝතල්වලින් පහරදී ඇති අතර, එහිදි නොසන්සුන්තාවය හටගෙන තිබිණ.
සිවිල් වැසියන් විසින් යුද හමුදා සාමාජිකයන් පැමිණි වාහනයකටද පහරදී අලාභහානි සිදුකොට ඇති බව පුදුකුඩිඉරිප්පු පොලිසිය කීය.
තත්වය පාලනය කිරීමට අමතර යුද හමුදා සාමාජිකයන් පිරිසක් කැදවා ඇති අතර, නොසන්සුන්තාවය පාලනය කිරීමට යුද හමුදා නිළධාරීන් අහසට වෙඩි තැබීමක්ද සිදුකොට ඇති බවද පොලිසිය පැවසූහ.
සිද්ධියෙන් යුද හමුදා සාමාජිකයන් තිදෙනකු හා සිවිල් වැසියන් දෙදෙනකු තුවාල ලබා ඇති අතර, තුවාල ලැබු යුධ හමුදා සාමාජිකයන් කිලිනොච්චිය රෝහලටද,සිවිල් සාමාජිකයින් පොලිස් ආරක්ෂාව යටතේ මාන්චෝලෙයි රෝහලටද යොමුකොට ඇති බවද පොලිසිය පවසයි..