ශ්‍රී ලංකාවේ භාවිතය තහනම්කොට ඇති මෙගා හර්ට්ස් 1800 රැහැන් දුරකතන 58ක් නීති විරෝධීව පරිහරණය කරමින් සිටියදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල දී අත්අඩංගුවට ගත් බව විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව පවසයි.
පොලිසිය සහ විදුලි සංදේශ කොමිසන් සභාවේ පිරිස් එක්ව කණ්ඩායම් 15ක් වශයෙන් නිවාස සහ වෙළෙඳසල් පරීක්ෂා කිරීමේ දී මෙම දුරකතන සොයා ගත් බව විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති අනූෂ පැල්පිට මහතා කියයි.
විදුලි සංදේශ නියාමන කොමිසමේ අවසරය නොමැතිව මෙරටට ගෙන්වූ මෙම අධි තාක්ෂණික දුරකතන 600ක් පමණ දැනට දිවයින පුරා භාවිත වන බවත් මෙමගින් ජංගම දුරකතන ජාලයට බාධා එල්ල වන බවත් පැල්පිට මහතා පවසයි.