තවත් හොර වීසා සිද්ධියක් අසුවේ


ව්‍යාජ වීසා භාවිතා කරමින් නීති විරෝධී ලෙස ඉතාලියට යාමට උත්සහ කළ  ශ්‍රී ලාංකික තරුණයෝ   දෙදෙනෙක් ඩුබායි හිදී එරටින් පිටුවහල් කොට මෙරටට එවනු ලැබ සිටියදී  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්  අද  අත් අඩංගුවට ගනු ලැබීය.

මොවුහු වයස අවුරුදු 25 සහ 37 වියේ පසුවන යාපනේ කොඩිකාමන් සහ උරුම්බායි යන ප්‍රදේශ වල පදිංචිකරුවෝ වෙති.

මොවුන් දෙදෙනාම පසුගිය පෙබරවාරි 08 වෙනි දින මෙරටින් පිටත්ව ගොස් ඇත. ඩුබායි හි මොවුන්ගේ වීසා ව්‍යාජ බව එරට බලධාරීන් විසින්  අනාවරණය කරගැනීමෙන් පසු එමිරේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ 653 දරණ ගුවන් යානයෙන්  මෙලෙස ආපසු මෙරටට පිටුවහල් කොට එවා ඇත.

දෙදෙනාටම මාස 8 ක් බැගින් ඉතාලියේ රැදී සිටීමට හැකි අයුරින් වීසා සකස් කර තිබු බව අනාවරණය වී ඇත. කෙසේ වෙතත් මොවුන් දෙදෙනා එකිනෙකා නොහඳුනනා බවද වාර්ථා වෙයි.

ඉතාලියේ වෙසෙන පුද්ගලයෙකු විසින් වීසා සකස් කර එවා ඇති  බව  දැනගන්නට ඇති අතර කෙසේ වෙතත්  මෙලෙස ව්‍යාජ වීසා සකස් කර තරුණයින් ඉතාලියට පටවන ජාවාරමක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ අරඹා ඇත.

මේ පිළිබඳ විමර්ශන  කටයුතු සිදු කිරීමෙන් අනතුරුව දෙදෙනාව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට  ඉදිරිපත් කිරීමට  නියමිතය.