( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
කොටහේනේදී 17 හැවිරිදි තරුණයකු පිහියෙන් ඇන මරා දැමීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මරණ දඬුවම නියම කරන ලදී
කොටහේන ප්‍රදේශයේ පදිංචි ගුරුසාමි මිල්ටන් සහ කළුතන්ත‍්‍රීගේ රුවන් හෙවත් ආජා නමැති විත්තිකරුවන් දෙදෙනාට මෙලෙස මරණ දඬුවම නියම විණි.
මෙහි ගුරුසාමි මිල්ටන් නැමති විත්තිකරු මේ වනවිට අධිකරණය මඟ හැර පළා ගොස් සිටින අතර ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා මහාධිකරණ විනිසුරුවරයා විවෘත වරෙන්තු ද නිකුත් කර ඇත.
2001 වසරේ අපේ‍්‍රල් 12 වැනිදා කොටහේන ප‍්‍රදේශයේදී පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් 17 හැවිරිදි පණ්ඩුක ප‍්‍රසාද් විස්වන්ත නැමති තරුණයෙකුට පිහියෙන් ඇන මරා දැමීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කෙරිණි.
දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප‍්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව තීන්දු කළේය.
ඒ අනුව ඔවුන්ට මරණීය දණ්ඩනය නියම කරන බවද විනිසුරුවරයා සිය තීන්දුවෙන් සඳහන් කර සිටියේය.

