තමිල්නාඩු - බෙංගාල මැතිවරණ ආරම්භ වෙයි


තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණය සහ බටහිර බෙංගාල ප්‍රාන්ත සභා මැතිවරණය අද (23) ආරම්භ විය. තමිල්නාඩුව මෙන්ම බටහිර බෙංගාලය ද ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත දෙකක් වන අතර මේ වනවිට එම ප්‍රාන්තවල බලය ඇත්තේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සතුව නොවෙයි.

තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණය සහ බටහිර බෙංගාල ප්‍රාන්ත සභා මැතිවරණය ද ආරම්භ වූයේ ඊයේ (23) උදෑසන 7 ටය. තමිල්නාඩු ප්‍රාන්තයේත් බටහිර බෙංගාල ප්‍රාන්තයේත් මැතිවරණ පැවැත්වෙන්නේ අදියර කීපයකිනි.

තමිල්නාඩු ප්‍රාන්ත සභාව ආසන 234 කින් සමන්විත අතර, එම 234 සඳහා නියෝජිතයන් තෝරා ගැනීමට මැතිවරණය පැවැත්වෙයි. තමිල්නාඩු මැතිවරණ බලධාරීන් කියා සිටියේ, කෝටි 5.7ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි බවය. ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම මැයි 4 වැනිදා සිදුවනු ඇත. බහුතර බලය සඳහා ආසන 118 කට වැඩිය දිනාගත යුතුය.

තමිල්නාඩුවේ බලයේ සිටින්නේ ද්‍රවිඩ මුනේත්‍ර කසාගම් හෙවත් ඩී.එම්.කේ. පක්ෂයයි. ඩී.එම්.කේ. පක්ෂය ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ මූලිකත්වයෙන් පිහිටුවා ගත් ‘ඉන්දියා‘ නමැති දේශපාලන සන්ධානයේ හවුල්කාර පක්ෂයකි. තමිල්නාඩුවේ වත්මන් මහ ඇමැතිවරයා වන්නේ, ප්‍රාන්තයේ හිටපු මහ ඇමැති කරුණානිධිගේ පුත්‍රයා මෙන්ම වර්තමානයේ ඩී.එම්.කේ. නායකයා ද වන එම්.කේ ස්ටාලිංය. 

ඩී.එම්.කේ. පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ප්‍රතිවාදියා ඕල් ඉන්දියා අන්නා ද්‍රවිඩ මුනේත්‍ර කසාගම් හෙවත් ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂයයි. එඩප්පඩි කේ. පපලනි සිවාමි පක්ෂයට නායකත්වය දෙයි. ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂය සන්ධානගතවී සිටින්නේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ද අයත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සමඟය.

මෙවර තමිල්නාඩු මැතිවරණයේ සුවිශේෂී වන්නේ, රංගනයට සමු දී දේශපාලනයට ආ දමිළ සුපිරි නළු තලපති විජේගේ තමිල්ලගා වෙට්රිද කසාගම් නමැති නව දේශපාලන පක්ෂයේ ආගමනයයි.

මෙම පක්ෂය පිහිටුවූයේ 2024 වසරේදීය. මේ වනවිට මිලියන 15 කට වැඩි පිරිසක් මෙම පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන ඇතැයි ද පැවැසෙයි.ඒ සියලු දෙනා තලපති විජේගේ රසිකයන් බවත්, දේශපාලනයේ පෙරැළියක් කිරීමට විජේට හැකිවේවි යැයි විශ්වාස කරන අය බවත් දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති. 

අද (23) ආරම්භ වෙන බටහිර බෙංගාල මැතිවරණය අවසන් වන්නේ අප්‍රේල් 23 වැනිදාය. මැතිවරණය පැවැත්වෙන්නේ ආසන 294 ක් සඳහාය. බහුතරය සඤහා ආසන 148 ක් අවශ්‍ය වෙයි.

බටහිර බෙංගාලයේ මහ ඇමැති ලෙස කටයුතු කරන්නේ මම්තා බැනර්ජීය. ඇය සහ ඇගේ පක්ෂයටත් ඔට සහාය දක්වන සෙසු පක්ෂවලටත් හිමිවී ඇති ආසන ගණන 223 කි. ඇය නායකත්වය දෙන්නේ ඕල් ඉන්දියා ත්‍රිණමූල් කොංග්‍රස් පක්ෂයටය.

මම්තා බැනර්ජී බටහිර බෙංගාල ප්‍රාන්තයට නායකත්වය දෙන්නේ 1998 වසරේ සිටය.  දිගටම බලයේ රැඳී සිටීමට මම්තා බැනර්ජී උත්සාහ ගනී.

දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ බටහිර බෙංගාල ප්‍රාන්ත මැතිවරණයේ වැඩි වාසි ඇත්තේ ද මම්තා බැනර්ජි සහ ඇගේ පක්ෂය සතුව බවය. මම්තා බැනර්ගේ ප්‍රතිවාදියා වන්නේ භාරතීය ජනතා පක්ෂයේ අපේක්ෂක සුවෙන්දු අධිකාරිය. බටහිර බෙංගාල මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම සිදුවනු ඇත්තේ ද මැයි 4 වැනිදාය.