තද වැසි සහිත කාලගුණය තවත් සතියක්


(ඩයනා උදයංගනී)

දිවයිනේ ප‍්‍රදේශ රැසකට බලපා ඇති තද වැසි සහිත කාලගුණ තත්ත්වය තවත් සතියක් පමණ පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඊසාන දිග මෝසමේ සහ පහළ වායුගෝලයෙහි පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් මෙම වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.

උතුරු, නැගෙනහිර, උතුරුමැද, ඌව සහ මධ්‍යම පළාත්වලට තද වැසි ඇතිවන අතර දිවයින පුරා අහස වළාකුලින් බරව පවතින බව ද එම ප‍්‍රකාශකයා ස`දහන් කළේය.

යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, වවුනියාව, අනුරාධපුරය, පොළොන්නරුව, ත‍්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, නුවරඑළිය, මහනුවර, බදුල්ල සහ මොණරාගල දිස්ත‍්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි අතර සබරගමුව, දකුණු සහ බස්නාහිර පළාත්වලත්, මාතලේ සහ මහනුවර දිස්ත‍්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75, 100ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවද ඔහු පැවසීය.

උතුරු, උතුරුමැද, වයඹ, මධ්‍යම, ඌව පළාත්වලත්, ත‍්‍රිකුණාමලය විටින් විට පැයට කිලෝමීටර 50 පමණ තරමක් තද සුළං ඇතිවිය හැකි බව ද එම ප‍්‍රකාශකයා කීවේය.

ගිගුරුම් සහිත වැසි සඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුද ඇතිවිය හැකි බැවින් අනතුරු වළක්වා ගැනීමට ක‍්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.