(නිමන්ති රණසිංහ)
ඇමරිකානු ඩොලර් ලබා දෙන බව පවසා රුපියල් කෝටි පහ හමාරක මුදලක් වංචා කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයකු සහ අධ්‍යක්ෂවරියක ලබන 31 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (22) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ධර්මප්‍රිය බණ්ඩාර දසනායක සහ අනුෂ්කි සමාධි ප්‍රදිනාන්දු නැමැත්තන්ය.
කොළඹ තරුපහේ හෝටලයක රැදී සිටියදි මෙම සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය.
මෙම සැකකරුවන් ඇමරිකානු ඩොලර් ලබාදෙන බව පවසමින් අගරු චෙක් පත් දෙකක් ලබාදී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
ගාර්ෂියා පුංචිහේවා මහතා කළ පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සිදු කළ බවත් වසර පහකට පසුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

