ඩීසල් ලීටර් 4070 මිරිස්සෙන් අල්ලයි


(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ තරංග ගුණරත්න)

ඩීසල්වලට භූමි තෙල් මිශ්‍ර කර වැඩි මිලට විකිණීම ජාවාරමක නිරත වු බව කියන වැලිගම මිරිස්ස ප්‍රදේශයේ ධීවර ව්‍යාපාරිකයකු ඩීසල් ලීටර් 4070 ක තොගයක් සමග සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුරේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පොලීසිය එම නිලධාරීන් සමග එක්ව මෙම වැටලීම සිදු කලේය.

භූමි තෙල් මිශ්‍ර බව කියන ඩීසල් බැරල් 19 ක් මිරිස්ස වරායේ ජැටිය මත තිබියදී පොලීස් බාරයට ගෙන තිබේ.

තම බහු දින යාත්‍රාවලට මේ ආකාරයෙන් ඉන්ධන එක් රැස් කර ගෙන තිබෙන බව එම ව්‍යාපාරිකයා පොලිසියට කියා ඇත.

බහු දින යාත්‍රා තුනක හිමිකරුවකු වු ඔහුගේ එක් යාත්‍රාවක් රැකියාව සදහා මුහුදු ගොස් තිබෙන බව ද තවත් යාත්‍රාවක් ධීවර වරායේ නැංගුලම්ලා තිබු බව අනෙක් යාත්‍රාව අබලන්ව කැඩී ගොස් තිබෙන බවද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

නැංගුරම් ලා තිබු යාත්‍රාවේ ටැංකිය තුල ඩීසල් ලීටර් 2000 කට වැඩි ප්‍රමාණයක් තිබු බවද ඒවා යාත්‍රාවේ ටැංකිය තුල තිබු නිසා අත් අඩංගුවට ගැනීමක් සිදු නොකල බවද එම නිලධාරියා කීය.

දැනට අබලන්ව පැවති ධීවර යාත්‍රාව උපයෝගී කර ගෙන ඔහු මේ ආකාරයට ඩීසල් ලබා ගෙන එක්රැස් කර ගෙන තිබෙන බවට ද පොලීසිය හා නාවික හමුදා බුද්ධි නිලධාරීන් වෙත තොරතුරු ලැබී ඇත.