(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන්ගේ සහ පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේනගේ ජංගම දුරකතන සහ වෙනත් ඩිජිටල් උපකරණවල තොරතුරු ඔවුන්ගේ නීතීඥවරන් සහ නීතීපති දෙපාර්තමෙන්තුවේ නියෝජිතයෙකු ඉදිරියේ ලබාගැනීමට බැඳුම්කර කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත‍්‍රසිරි මහතා අද(14) නියම කළේය.
2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ සිදු කෙරේ.
අදාළ ඩිජිටල් උපකරණ වල තොරතුරු ඔවුන්ගේ නීතීඥවරුන් ඉදිරියේ ලබාගත යුතු බවත් ඒ අවස්ථාවේදී නීතීපති දෙපාර්තමෙන්තුවේ නියෝජිතයෙකුද එහි සිටිය යුතු බවත් විනිසුරු දැනුම් දුන්නේය.
එම තොරතුරු ලබා ගත් අවස්ථාවේදීම දෘඩ තැටි තුනකට බහා කොමිසමේ ලේකම්වරයාට ඉදිරිපත් කළ යුතු බවද දැනුම් දුන් විනිසුරුවරයා මෙම ක‍්‍රියාවලිය විඞීයෝගත කිරීම තහනම් බවත් අදාළ පුද්ගලයින්ගේ සාක්කි විමසීමෙන් අනතුරුව එම ජංගම දුරකථන සහ අදාළ ඩිජිටල් උපකරණ සියල්ලම යළි ඔවුන්ට බාරදිය යුතු බවත් දන්වා සිටියේය.

