ටියුනීසියා ජාත්‍යන්තර බොක්සිං ශූරතාවලියේදී අනූෂාට රන් පදක්කමක්


ටියුනීසියාවේදී පැවැති අන්තර්ජාතික කාන්තා බොක්සිං ශූරතාවලියේ කිලෝග්‍රෑම් කි.ග්‍රෑ. 48 ලයිට් ෆ්ලයි බර පංතියේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා අනුෂා කොඩිතුවක්කු සමත්වුවාය. අනුෂා අවසන් තරගයේදී පින්ලන්තයේ ක්‍රීඩිකා ලොයිකනින් ලොට්ටා සමග තරග කළාය. තරගයේ පළමු වටයේදීම අනුෂාගේ පහරවල් පින්ලන්ත ක්‍රීඩිකාවට දරාගැනීමට නොහැකි බව තේරුම්ගත් තීරකවරයා තරගය නතර කිරීමට පියවර ගත්තේය. අවසන් පුර්ව තරගයේදී ටියුනීසියානු ක්‍රීඩිකා මාලෙක් විතානි ලකුණු 14/4 කින් පරදවා අනුෂා අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තාය. බොක්සිං ක්‍රීඩාවෙන් ලොව ඉදිරියෙන්ම සිටින රටක් වන පින්ලන්තයේ මෙම ක්‍රීඩිකාව ලෝක ශූරතාවලිවලට සහභාගිවෙමින් දස්කම් දැක්වු ක්‍රීඩිකාවක් ද වේ. තරගාවලියට සහභාගි වු සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනා වන සිතාරි සඳරේඛා සහ ශිරෝමාලි වීරරත්න ද ලෝකඩ පදක්කම් දිනාගත්හ. තරගාවලියට ඊජිප්තුව, හංගේරියාව, පෝලන්තය, පින්ලන්තය, සර්බියාව, ඇල්ජීරියාව යන රටවලින් ක්‍රීඩිකාවෝ සහභාගිවුහ.