ටිකිරි කොබ්බෑකඩුව සදුදා ආණ්ඩුකාරධූරයේ වැඩ බාරගනී


(අජිත්ලාල් ශාන්තඋදය)

සබරගමු පළාතේ වන ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ලබන සඳුදා (25) පෙරවරුවේ රත්නපුර නව නගරයේ පිහිටි පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී වැඩබාරගැනීමට නියමිත බව පළාත් ප්‍රධාන ලේකම් ඩී.එම්.මාලනී මහත්මිය පැවසුවාය.

ටිකිරි කොබ්බෑකඩුව මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේ අද (210 දිවුරුම් දුන්නේය.

නව ආණ්ඩුකාරවරයා සබරගමු මහ සමන් දේවාලයට ගොස් විශේෂ පුජාවක් පැවැත්වීමටද නියමිත අතර ටිකිරි කොබ්බෑකඩුව මහතා සබරගමු පළාතේ දොළොස්වැනි ආණ්ඩුකාරවරයායි.

මධ්‍යම පළාතේ අටවැනි ආණ්ඩුකාරවරයා ලෙස 2005 දෙසැම්බර් මස 16 දින සිට 2015 ජනවාරි 19 දා තෙක්  වසර නවයකුත් මාස දෙකක් ටිකිරි කොබ්බෑකඩුව මහතා කටයුතු කළේය.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ සහ මහනුවර සිල්වෙස්ටර් විද්‍යාලවලින් මූලික අධ්‍යානය හැදෑරූ ටිකිරි කොබ්බෑකඩුව මහතා  මහනුවර දිස්ත්‍රික්කයේ ආසනයේ ශ්‍රීලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ද කටයුතු කළේය.

1997 දී ඔහු මහනුවර නාගරික මන්ත්‍රීවරයෙක් වූයේ වැඩිම මනාපයෙනි.

පෞද්ගලික සමාගම් කිහිපයක විකුණුම් සහ වෙළඳ කළමනාකරුවෙකු, අධ්‍යක්‍ෂවරයෙකු ලෙස කටයුතු කර ඇති ටිකිරි කොබ්බෑකඩුව මහතා ලේක්හවුස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසක කටයුතු කළේය.

පසුව කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සහ තේ ශක්ති ව්‍යාපාරයේ සභපාතිවරයා ලෙස ද කටයුතු කර ඇත.

ටිකිරි කොබ්බෑකඩුව මහතා ශ්‍රීලංකා නිදහස් පක්‍ෂයේ කීර්තිමත් දේශපාලනඥයෙක් මෙන්ම කෘෂිකර්ම ඇමතිවරයෙක්, ජනාධිපති අපේක්‍ෂකයෙක්  වූ හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ බෑණාය.