ඥානසාර හිමි අත්අඩංගුවට ගන්නැයි උතුරේ නීතිඥවරු වැඩ වරති


(සිතුම් චතුරංග)

මුලතිව්, නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ දේහයේ අවසන් කටයුතු සිදුකිරීමට එරෙහිව අධිකරණ නියෝග කඩකිරීමට අනුබල දුන් බොදුබලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගන්නැයි උතුරු පළාතේ නීතිඥවරුන් අද (24) අධිකරණ කටයුතු වලින් ඉවත්ව වර්ජනයක නිරත විය.

වවුනියාව, මුලතිව් , කිලිනොච්චිය , යාපනය හා මන්නාරම දිස්ත්‍රික්කයන්හි නීතිඥවරු අද උදෑසන සිට අධිකරණ කටයුතු වලින් ඉවත්ව වර්ජනයේ නිරතවූහ.

ගුරුකන්ද විහාර භූමියේ ආදහන පූජෝත්සවය සිදුනොකරන ලෙසත් එය විහාරයට නුදුරින් පිහිටි යුද හමුදා කඳවුර පවතින ස්ථානයේ මුහුදු වෙරළෙහි සිදුකරන ලෙසට මහෙස්ත්‍රාත්වරයකු විසින් ලබාදුන් නඩු තීන්දුවට එරෙහිව යමින් අධිකරණයට සිදුකළ අපහාසය දැඩි ලෙස හෙළා දකින බව උතුරු පළාත් නීතිඥ සංගමයේ ක්‍රියාකාරී නිතීඥ ඇන්ටන් පුලිදනායගම් මහතා පැවසීය.

අදාළ සිද්ධිය වන ස්ථානයේ විරෝධය පළ කළ මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයේ කේ. සුකාශ් නම් නීතිඥවරයාට එහි පැමිණ සිටි භික්ෂූන් වහන්සේලා මරණ තර්ජන සිදුකර පහරදීමට උත්සහ කර ඇති බවත් එය සමස්ත නීතිඥවරුන්ට සිදු කළ දැඩි අපහාසයක් බවද පැවසීය.

මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය නොසළකා කටයුතු කිරීම හා මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරයකුට බලපෑම් එල්ල කිරීමට විරුද්ධව උතුරු පළාතේ සියලුම නීතිඥවරුන් මුලතිව් ම‍හේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපස විරෝධතාවයක් සංවිධානය කිරිමට නියමිතය.

අදාළ ගැටළුවට කඩිනම් විසඳුමක් ලබා නොදුණහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවද පුලිදනායගම් මහතා පැවසීය.

අපවත් වී වදාළ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති නාහිමයන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය සිදුකිරීම පිළිබඳ කෝවිල් පාර්ශවය හා මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය සභාව විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාගයට ගෙන එහි තීන්දුව ලබාදෙමින් ආදාහන පූජෝත්සවය විහාරයට නුදුරින් යුද හමුදා කඳවුර අසළ වෙරළ තීරයේ සිදුකරන ලෙස මුලතිව් ප්‍රධාන මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා  නියෝග කර තිබිණි.

නීතිඥ්‍යවරුන් නොමැතිවීමමෙන් උතුරේ අධිකරණ රැසක දෛනික කටයුතු අඩාල වූ අතර මහෙස්ත්‍රාත්වරුන් විසින් නඩු කල්තැබීම පමණක් සිදුකරනු ලැබීය.  

(ඡායාරූප - ටී.එල්.ජවුෆර්ඛාන් - මඩකලපුවේ විරෝධතාව)