ජාතික පාපැදි පුහුණුකරු සංචිතය හැරයයි


ජාතික පාපැදි පුහුණුකරු ධුරයේ කටයුතු කරන උපාලි රත්නායක මහතා එම ධුරයේ කටයුතුවලින් තාවකාලිකව ඉවත්වීමට ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මියගෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ පිළිබඳව යොමුකළ ලිපියේ  පිටපතක් පාපැදි අතුරු කමිටුවේ සභාපති එයාර් වයිස් මාර්ෂල් ගගන බුලත්සිංහල මහතාටද යොමු කර තිබේ. දැනට ක‍්‍රියාත්මක ජාතික පාපැදි සංචිතයේ පුහුණුවීම් කටයුතු මෙහෙයවීමේදී ජාතික පාපැදි පුහුණුකරු ධුරයේ කටයුතු කරන තමන්ට පැන නැගී තිබෙන දුෂ්කරතා කීපයක් මුල් කරගනිමින් රත්නායක මහතා මෙම ධුරයේ කටයුතුවලින් ඈත්වීමට තීරණය කර ඇතැයි පාපැදි ක‍්‍රීඩා ආරංචිමාර්ග සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් ලංකාදීප කළ විමසුමකදී ඔහු පැවසුවේ තමා මෙවැනි ලිපියක් යැවීම සත්‍යයක් බවත් ජාතික පාපැදි සංචිතයේ පුහුණුවීම් කටයුතු මෙහෙයවීම හිතට එකඟව කළ නොහැකි තත්ත්වයක් මත තමා මෙම ලිපිය යොමු කිරීමට තීරණය කළ බවයි. ක‍්‍රීඩකයන් 18 දෙනකුගෙන් හා ක‍්‍රීඩිකාවන් 10 දෙනකුගෙන් සමන්විත ජාතික පාපැදි සංචිතයේ නේවාසික පුහුණුවීම් මේ දිනවල සීගිරියේදී ආරම්භකර තිබේ. ඒ සඳහා ශ්‍රී ලංකාවට කැඳවූ කොරියානු පාපැදි උපදේශකවරයාගේද සේවය ලබා ගෙන තිබේ. කෙසේ වූවත් පුහුණුවීම් මෙහෙයවීමේදී ඔවුන් දෙදෙනා අතර ඇතැම් කරුණු වලදී එකඟතාවක් ඇති නොවීමද මෙම තත්ත්වයට හේතුවී ඇතැයි ද වාර්තාවේ. ”විශේෂයෙන්ම සංචිතයේ තාක්ෂණ උපදෙස් ක‍්‍රියාත්මක කිරීමේදී මෙම ගැටලූව පැන නැගී තිබෙනවා. ඒ සඳහා මා සූදානම් කළ වැඩසටහනක් ක‍්‍රියාත්මක කරන්න බැරි නම් ජාතික පුුහුණුකරු ධුරයේ රැුඳී සිටීම ගැන හිතන්න වෙනවා” යයිද රත්නායක මහතා පැවසීය. ඔහු අවස්ථා තුනකදී ජාතික පාපැදි පුහුණුකරු ධුරයේ කටයුතු කර තිබෙන අතර වසර 2006 කොළඹ පැවති සාග් ක‍්‍රීඩා උළෙලේදී ඔහු යටතේ පුහුණුවීම් ලද ශ්‍රී ලංකා පාපැදි කණ්ඩායම රන් පදක්කම් හයක් දිනා ගැනීමට සමත් විය.