ජල ගාස්තුවට ජාතික ප්‍රතිපත්තියක්


(අංජුල මහික වීරරත්න)

සියලුම ජල සම්පාදන හා සනීපාරක්ෂක සේවා සඳහා වන ජාතික ජල ගාස්තු ප්‍රතිපත්තිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ආරක්ෂිත, විශ්වසනීය සහ දැරිය හැකි මිලකට ලබා ගත හැකි පානීය ජලය මෙන්ම, ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් සඳහා වන ප්‍රවේශය, මහජන සෞඛ්‍ය පවත්වා ගැනීමටත්, සමාජ සුඛ සාධනය ප්‍රවර්ධනය කිරීමටත්, ආර්ථික සංවර්ධනය පෝෂණය කිරීමටත් අත්‍යවශ්‍ය වන බව රජය කියයි.

ශ්‍රී ලංකා රජය විසින් ජල සම්පාදන හා සනීපාරක්ෂක සේවාවන් ආර්ථීක භාණ්ඩයක් මෙන්ම මූලික මානව අවශ්‍යතාවක් ලෙස ද පිළිගනු ලබයි. එබැවින්, ජල හා සනීපාරක්ෂක සේවා සඳහා මිල නියම කිරීමේදී සේවා සපයන්නන්ගේ මූල්‍ය තිරසරභාවය සහ සමාජයේ සියලුම ස්ථරයන් සඳහා සාධාරණ හා දැරිය හැකි ප්‍රවේශයක් සහතික කිරීමේ අවශ්‍යතාව අතර මනා සමතුලිතතාවක් පවත්වා ගත යුතුව ඇත. ඒ අනුව, සියලුම ජල සම්පාදන හා සනීපාරක්ෂක සේවා සපයන්නන් සඳහා අදාළ වන පරිදි සහ ස්ත්‍රී - පුරුෂ සමාජභාවී සමානතාව හා සමාජීය අන්තර් ග්‍රහණය කෙරෙහි සංවේදී වූ ජාතික ජල ගාස්තු ප්‍රතිපත්තියක අවශ්‍යතාව ශ්‍රී ලංකා රජය විසින් හඳුනා ගනු ලැබ තිබේ.

වර්තමානය වන විට විවිධ ජල සේවා සපයන්නන් විසින් මෙහෙයවනු ලබන ජල සම්පාදන ක්‍රමවල ගාස්තු නියම කිරීම සඳහා මෙන්ම සනීපාරක්ෂක පද්ධති සඳහා ගාස්තු නියම කිරීම, සමාලෝචනය කිරීම, අනුමත කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා විධිමත් ජාතික රාමුවක් නොමැත. එබැවින්, ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ ක්‍රියාත්මක ප්‍රතිපත්ති පාදක ණය වැඩසටහනක් වන ශ්‍රී ලංකා ජලසම්පාදන හා සනීපාරක්ෂක අංශයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ සියලු ජලසම්පාදන සේවා සපයන්නන් ආවරණය වන පරිදි ජාතික ජල ගාස්තු ප්‍රතිපත්තියක් නිවාස, ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍යාංශය විසින් සකස් කර තිබේ. එකී ජාතික ජල ගාස්තු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.