ජනාධිපතිවරණයට දින 10 කට පෙර ලංවිමෙන් චීන සමාගමකට ලිපියක්


නාමිනි විජේදාස - සන්ඬේ ටයිම්ස්

නොරච්චෝලේ පිහිටි ලක්විජය ගල් අඟුරු බලාගාරයට මෙගාවොට් 300ක් අමතරව එක් කිරීම සඳහා ජනාධිපතිවරණයට දින 10කට පෙර ලංකා විදුලිබල මණ්ඩලය චයිනා මැෂිනරි ඉංජිනියරින් කෝපරේෂන්’ (සී.එම්.ඊ.සී.) සමාගමට ලිපියක් යවා ඇතැයි වාර්තා වේ.

ලංකා විදුලිබල මණ්ඩලය සිය අභිමතය දන්වමින් යවා ඇති මෙම ලිපිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව දැනුවත් කර නැතැයි ද වාර්තා වේ. එවැනි ලිපියක් යවන්නේ නම් මහජන උපයෝගිතා කොමිෂන් සභාව දැනුවත් කිරීම අනිවාර්යය බව ද පැවැසේ.

ලක්විජය බලාගාරයට එකතුවක් කිරීම ලංකා විදුලිබල මණ්ඩලයේ දීර්ඝ කාලීන සාමාන්‍ය ව්‍යාප්ත කිරීමේ සැලැසුම්වලින් එකක් නොවන බව ද වාර්තා වේ.

හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවි කරුණානායක මහතා කැබිනට් පත්‍රිකාවක් යොමු කර තිබෙන අතර ඊට අනුව නොරොච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 900ක සිවුවැනි ඒකකයක් ස්ථාපිත කිරීම සඳහා සලකා බලා තිබේ. පවත්නා යටිතල පහසුකම් සහ සමාන හෝ උසස් පද්ධති සහ පහසුකම් යොදා ගනිමින් එසේ කිරීමට ද අවධානය යොමු වී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය, ‘චයිනා මැෂිනරි ඉංජිනියරින් කෝපරේෂන්’ (සී.එම්.ඊ.සී.) සමාගමට යැවූ ලිපිය මගින් ශක්‍යතා අධ්‍යයනක් කිරීමට බලාපොරොත්තු වී තිබේ. අදාළ සමාගම මඟින් එම ශක්‍යතා අධ්‍යයනය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය බලාපොරොත්තු වී තිබෙන අතර එම ශක්‍යතා අධ්‍යයනය මේ වනවිටත් සිදු කරන බව වාර්තා වේ.

අදාළ එකතු කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික, වාණිජ සහ මූල්‍ය ශක්‍යතාව සහ හැකියාව අගය කිරීම හා තක්සේරු කිරීම අදාළ චීන සමාගමට පවරා තිබේ. ඊට අමතරව පාරිසරික සහ අනෙකුත් නියාමන අවශ්‍යතා සම්බන්ධයෙන් ද සලකා බැලීම ඊට අවශ්‍ය කර තිබේ.

වරින් වර බිඳ වැටුණු පළමු ඒකකය ද ඇතුළුව ලක්විජය බලාගාරයේ අනෙක් ඒකක තුනම ඉදිකරන ලද්දේ සී.එම්.ඊ.සී. සමාගමය. 2011 වසරේ දී ආරම්භ කිරීමෙන් අනතුරුව අවස්ථා ගණනාවකදීම අදාළ ඒකකය අලුත්වැඩියා කරන ලදී. මේ වනවිට නඩත්තු කිරීමේ කටයුතු සඳහා අදාළ ඒකකයේ වැඩ නවත්වා ඇත.

ව්‍යාපෘතියේ සම්පූර්ණ වියදම ආවරණය කරගැනීම සඳහා සහන ණයක් ලබාගැනීම සම්බන්ධයෙන් ඇති හැකියාව විමසා බලන්නැයි ද ලංකා විදුලිබල මණ්ඩලය සී.එම්.ඊ.සී. සමාගමට උපදෙස් දී තිබේ. රටවල් දෙක අතර ණයක් ලබාගැනීම සම්බන්ධයෙන් සලකා බලන්නැයි එහිදී උපදෙස් දී තිබෙන අතර කලින් ඉදිකරන ලද ඒකක තුනට මුදල් සපයා ඇත්තේ චීනයයි.

උපයෝගිතාව සම්බන්ධයෙන් කිසිදු නෛතික බැඳීමක් නැතැයි ද වලංගු වන්නේ මාස හයකට වන බැවින් අදාළ චීන සමාගම මාස හයක් ඇතුළත ශක්‍යතා අධ්‍යයන වාර්තාව ලබාදිය යුතු බව ද අදාළ ලිපියේ සඳහන්ව ඇත. ඊට අමතරව අදාළ මාස හය ඇතුළත බලාගාරය ඉදිකිරීම සඳහා සැලැස්මක් මෙන්ම එකතු කිරීම සඳහා පුළුල් තාක්ෂණික සහ වාණිජ යෝජනාවක් ඉදිරිපත් කරන්නැයි ද අදාළ ලිපියෙන් ලංකා විදුලිබල මණ්ඩලය චීන සමාගමට දන්වා ඇත. 

055