ජනපතිට ලන්ඩනයේදී ඉස්පාසුවක් නෑ


සිව් දින නිල චාරිකාවක් සඳහා  ලන්ඩන් නුවරට පැමිණි මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා ජනපති හා බිරිය ජයන්ති මහත්මිය ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටේදී එළිසෙබෙත් මහ රැජිනගේ විශේෂ නියෝජිත  ෆ්‍රොග්නල්හි සුසන් ගාඩ්න් බැරැන්වරිය හා ලන්ඩනයේ විදේශ අමාත්‍ය පිලීප්  හැමන්ඩ්ගේ විශේෂ නියෝජිත නිකලොස් ජැරල්ඩ් විසින් පිළිගනු ලැබුහ.

විදේශ ඇමැති මයිකල් ෆැලැන්ඩ්  ලන්ඩන් හිල්ටන් හෝටලයේදී ජනපති හමුවීමට නියමිතය.ලන්ඩනයේ වෙස්මිනිස්ටර් දේවස්ථානයේදී අද(08) සවස පොදු රාජ්‍ය මණ්ඩලීය සැමැරුමට සහභාගී වීමටද නියමිතය. රාජකීය පොදු රාජ්‍ය මණ්ඩලීය සංගමය මේ උත්සවය සංවිධානය කරයි.පොදු රාජ්‍ය මණ්ඩලීය සැමැරුමට දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ ඇරියුමින් පැමිණි  සිරිසේන මහතා ඇතුළු රාජ්‍ය නායකයින් දේවස්ථානයේ උත්සවයට  පෙරහරකින් සහභාගීවීමට ද  නියමිතය.

මාර්ල්බරෝ මන්දිරයේදී ශ්‍රී ලංකා ජනපති හා බිරිය ජයන්ති මහත්මිය  රාජ්‍ය නායකයින් හමු වීමට යයි.

නව රජය බලයට පැමිණිමෙන් පසු බ්‍රිතාන්‍යය පාලකයින් අතර පමණක් නොව මහා බ්‍රිතාන්‍යයේ වාසය කරන දෙමළ ජනතාවගේ ආකල්පමය වෙනසක් පවතින බව වැඩ  බලන මහ කොමසාරිස් චානක තල්පහේවා මහතා  කියයි.

ඔවුන් අතීතයේදී මෙන්ම මෙන්ම ශ්‍රී ලංකාවට විරෝධාකල්පයක්  නොදක්වන බව කියති . එහෙත් වෙස්මිනිස්ටර් දේවස්ථානය හා පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම්  කාර්යාලය අසල සැර බාල කළ විරෝධතා  පැවැත්වීමට ඉඩ ඇතැයිද දැනගන්නට ඇත.

එංගලන්තයේ වාසය කරන ශ්‍රී ලංකා දෙමළ ජාතිකයින්ගේ ඡන්දයේ බලය බ්‍රිතාන්‍ය දේශපාලනයේ ලොකු සාධකයක් බව කියති. ශ්‍රී ලංකා ජනපති බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ඩවුනින් වීදියේ අගමැති මන්දිරයේදී හමු වීමට නියමිතය.ශ්‍රි ලංකා කටයුතු වලට සම්බන්ධ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර  හමුවක්ද බ්‍රතාන්‍ය පාර්ලිමේනතු කමිටු කාමරයකදී සංවිධාන කර ඇත.

දෙරට ද්විපාර්ශවික සබඳතාද  පිළිබඳ සාකච්ඡා කිරීමටද නියමිතය. සදුදා (09)  ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යලයයේදී ආගමික නායකයින් මුණ ගැසීමටද ජනපති අදහස් කරයි. විදේශ ඇමැති මංගල සමරවීර ,පුනරුත්තාපන ඇමැති ඩී එම් ස්වාමිනාදන් විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා මහතාද මේ ගමනට ජනපති සමඟ එක්ව සිටිති.