ජනපතිට තුන්පාරක් පුළුවන්


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලතල ප්‍රකාරව වත්මන් ජනාධිපතිවරයාට තවත් වාරයක් ජනාධිපතිවරණයට තරග කිරීමට නීතිමය බාධාවක් නැතැ බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීරණය කර ඇතැයි සභානායක ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ දස පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ජනාධිපතිවරයා වෙත යවන ලද තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සභානායකවරයා එම ප්‍රකාශය කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 (3) ඒ (1) (1) ව්‍යවස්ථාව ප්‍රකාරව පැවරී ඇති බලතල ක්‍රියාත්මක කරමින් තවත් වාරයක් තෝරා පත් වීමට, තරග කිරීමට කිසිදු නීතිමය බාධාවක් නැති බව තීන්දුවේ සඳහන් වන්යේ යැයි ද සභානායක කීවේය.

එසේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමට ද, මැතිවරණයක් කැඳවීමට ද අයිතියක් ඇති බව ද එම තීන්දුවේ සඳහන් බව ඇමැතිවරයා පැවසීය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තුන් වරක් තරග කළ නොහැකි බවට කවරකුට හෝ සැකයක් සංකාවක් තිබුණා නම් ඒ සියල්ල දුරු කර නිර්භයව ඕනෑම වේලාවක මැතිවරණයකට ඉදිරිපත් වීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හැකි බව ද සභානායකවරයා කීවේය.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව දී ඇති බලතල අනුව මෙය කළ හැකි යැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කැරුණු තීන්දුවේ පැහැදිලිව සඳහන් බව ද හෙතෙම කීවේය.

මේ අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තුන් වැනි වාරයටත් ජනාධිපතිවරණයට තරග කළ හැකි බවට යහපත් තීන්දුවක් දී ඇතැයි සභා නායකවරයා පැවසීය.