ජනපති මන්දිරයෙන් හමු වූ මුදල් අධිකරණයට දෙන්නැයි නියෝගයක්


(නිමන්ති රණසිංහ)

ජනාධිපති මන්දිරයේ තිබී අරගලකරුවන් විසින් සොයොගෙන කොටුව පොලීසියට බාරදුන් බව කියන රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල වහාම අධිකරණය බාරයට ලබා දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා අද  කොටුව පොලීසියේ ස්ථනාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සාගර ලියනගේ මහතාට නියෝග කළේය.

රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් දහසක් වන මෙම මුදල අරගලකරුවන් විසින් පොලීසියට භාරදී සති තුනකට අධික කාලයක් ගතවී ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිද වාර්තාවක් හෝ දැනුම් දීමක් කොටුව පොලීසිය සිදුකර නොමැති බවට ජනාධිපති නිතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා කළ දැනුම් දීමකට අනුව මහේස්ත‍්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ්ය.

අරලියගහ මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී අයුතු ජන රාශියක සාමාජිකයන් වෙමින් කටයුතු කළැයි සදහන් කරමින් කොටුව පොලීසිය අත්අඩංගුවට ගත් අරගලකරුවන් සිව් දෙනකු අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය වහාම එම මුදල අධිකරණය භාරයට ලබා දෙන ලෙසට නියෝග කරමින් සැකකරුවන් සිව් දෙනාට ඇප නියම කළේය.

ඒ අනුව එක් සැකකරුවකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය තීරණය කළේය. මෙලෙස ඇප මත මුදා හැරුණේ, කුසල් සදරුවන්, අබ්දුල් කාදර් අබ්දුල් කලිල්, ජෙයරාම්ර ජයකුමාර් සහ ජෙයරාම් ජෙයරාජ් නැමැත්තන්ය.