ජගත් මහලේකම්ගෙන් ලක් රජයට පැසසුම්


(හර්ෂණ තුෂාර සිල්වා)

අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලෙන කාර්යාලය ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු යෙදීම ශ්‍රී ලංකාව ලද සුවිශේෂී ජයග්‍රහණයක් බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇත්තෝනියෝ ගුටරෙස් මහතා පවසයි.

අතුරුදන් වූ තම ආදරණීයයන් පිළිබඳ තවමත් ශ්‍රී ලාංකිකයන් සත්‍ය සොයන අවස්ථාවකදී අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලෙන කාර්යාලය ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු යෙදීම ප්‍රශංසා කළ යුතු බව ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පවසා ඇත.  

අතුරුදන්වූවන් පිළිබඳ සොයාබැලෙන ක්‍රියාවලියට එක්සත් ජාතීන්ගේ සංවිධානය නිරන්තරයෙන් සහාය දෙන බව කියන ඒ මහතා මෙම කාර්යාලයට ස්වාධීන කොමසාරිස්වරුන් පත් කරමින් කඩිනමින් ක්‍රියාත්මක වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතුරුදන්වූවන් පිළිබඳ සොයාබැලෙන කාර්යාලය පිළිබඳ පනතට අදාළ ගැසට් නිවේදනයට ඊයේ (20) අත්සන් තැබීය.

මෙම කාර්යාලය ඔස්සේ පසුගිය යුද සමයේදී පමණක් නොව ඊට පෙර අතුරුදන් වූවන් සම්බන්ධයෙන් ද විමර්ශනය කිරීමට නියමිතය.