(මනෝප‍්‍රිය ගුණසේකර)
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂයා වන හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නාමයෝජනා බාරදීමේ කටයුතු සහ වෛද්‍ය පරීක්‍ෂණ කටයුත්තක් සදහා විදේශගත වීමට ඔහුගේ විදේශ ගමන් බලපත‍්‍රය මුදා හරින්නැයි කළ ඉල්ලීම සම්බන්ධයෙන් බ්‍රහස්පතින්දා (03) නීතීපතිවරයාගේ ස්ථාවරය දැනුම් දෙන ලෙස ස්ථිර ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (01) නියම කළේය.
වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිතා කලේයැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහිව ස්ථිර ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ ගොනු කොට ඇති නඩුව විත්ති පාර්ශවයෙන් ඉදිරිපත් කළ මෝසමකට අනුව කැඳවනු ලැබු අවස්ථාවේදී විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.
මෙම නඩුව විභාග කිරීම සදහා පත් කරන ලද මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් විජේරත්න (සභාපති විනිසුරු) සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ලට හමුවේ මෙම නඩුව කැදවන ලදී.
2013 සැප්තැම්බර් මස 03 වැනිදාත් 2015 පෙබරවාරී මස 02 වැනිදාත් අතර කාලය තුළ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් ලක්‍ෂ 339 ක් වැයකොට වීරකැටිය මැදමුලන ඞී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීම සදහා කුමන්ත‍්‍රණය කළ බවට සියලූ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා ඇති අතර එම රුපියල් ලක්‍ෂ 339 වැය කොට වීරකැටිය මැදමුලන ඞී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමෙන් එම මුදල් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළ බවට ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයින් වු 02 සිට 06 දක්වා වන විත්තිකරුවන්ට එරෙහිවද ඒ සදහා ආධාර අනුබල දුන් බවට 01 සහ 07 වැනි විත්තිකරුවන්ට එරෙහිවද නීතීපතිවරයා චෝදනා නඟා ඇත.
දණ්ඩ නිති සංග‍්‍රහය යටතේ සහ පොදු දේපළ විෂයෙහි ලා සිදුකරනු ලබන වැරදි පිළිබද පනත යටතේ විත්තිකරුවන් මෙම වැරදි සිදුකර ඇති බවද නීතීපතිවරයා ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට දැනුම් දී ඇත.

