ගෝඨාට නඩු දාන්න කී ඇමැතිවරු හෙළි කරන්නැයි මහින්ද දිල්රුක්ෂිට කියයි


(නාලක සංජීව දහනායක)

සොලිස්ටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් වශයෙන් කටයුතු කළ සමයේ දී හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට නඩු පවරන ලෙස බලපෑම් කළ ඇමැතිවරුන් කවුදැයි වහාම රටට හෙළි කළ යුතු යැයි විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අද (24) පැවසීය. 

ඇය එසේ නොකරන්නේ නම් ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ සියලූම මැති ඇමැතිවරුන්ට මෙම චෝදනාව එල්ල වන බවද ඔහු කීය.

එහිදී ඔහු මෙසේ ද පැවැසීය.

19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ අපිට කපන්නයි. අපිට කපන්න ගෙනාපු ඒ සංශෝධනයෙන් අද රටම කප්පාදු වෙලා. ඇමැතිවරුන්ගේ බලපෑම් නිසාවෙන් තමන් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට නඩු පැවරූ බව සොලිස්ටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය කියනවා. එහෙම නම්  ඒ බලපෑම් කළ ඇමැතිවරුන් කවුදැයි ඇය වහාම රටට හෙළිකළ යුතුයි. එහෙම නැතිවුණොත් ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ සියලූම මැති ඇමැතිවරුන්ට මේ චෝදනාව එල්ල වෙනවා. නීති කඩන, නීති නවන නිලධාරීන් අපිට වැඩක් නැහැ. මේ ආකාරයට පළිගන්නා ආණ්ඩු රටට වැඩක් නැතැයි ද ඔහු සඳහන් කළේය.

කොළඹ, ඩී.ආර්.විජයවර්ධන මාවතේ පිහිටි ශ්‍රී ලංකා ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී අද (24) පැවති සමූපාකාරකයින්ගේ ජාතික මහා සම්මේලනයට සම්බන්ධ වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි