ගොවිජන සම්මේලනය දේශපාලකයින්ට අනතුරු අඟවයි


( කාංචන කුමාර ආරියදාස )

රජය ගොවීන්ට පොරොන්දු වූ වගා හානි සඳහා වූ වන්දි මුදල් කඩිනමින් ලබාදෙන්නැයි ඉල්ලමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය  අද(20) දඹුල්ල  නගරයේදී  ජනතා පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කළේය.

එහිදී එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න  මහතා  පැවසුවේ වගා හානි සඳහා ආණ්ඩුව ගොවීන්ට රු 40000ක වන්දි මුදලක් ලබාදීමට පොරොන්දු වී තිබුනද එය මෙතෙක් සියලුම ගොවීන්ට ලැබී නැති බවයි.

කඩින් කඩ ගෙවීම් කරමින් ගොවින් රවටා අතරමන් කර ඇති බව ඒ මහතා චෝදනා කරයි.

එම පෙත්සම රැගෙන රටවටේ විසිරි සිටින ගොවින් සමග අමාත්‍යංශයට එන බව කී ඒ මහතා පක්ෂ දෙකේම දේශපාලකයන්ට ගමට එන්නට බැරි වන්නට ජනතාව දැනුවත් කරන බව ද පැවසීය.
මෙතෙක් නොකළ විරෝධතා ක්‍රමයකට ගොවින් සන්නද්ධ කරන බවත් දේශපාලකයන් ගමට යන විට හා රැස්වීමවලට යනවිට පරිස්සම් වෙන ලෙස අනතුරු ඇඟවීය.

ගොවි වන්දි ලබා නොදීම ගැන ඒකාබද්ධ විපක්ෂයට කතා කිරීමට කිසිදු අයිතියක් නොමැති බවත් ඔවුන් කිඹුල් කඳුළු සලන බව ද පසුගිය රජය සමයේ විශාල ලෙස ගොවීන්ට වංචා කළ බවත් ඒ මහතා පැවසීය.