ගුරු සංගමෙන් රතු එළිය දල්වයි


ගුරු-විදුහල්පති සංගම් එකොළහක් එක්ව අද පැවැත්වූ වර්ජනය සාර්ථක වූ බව ලංකා ගුරු සංගමය කියයි. එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ අම්පාර, අනුරාධපුරය, බදුල්ල, යාපනය ද ඇතුළුව දිවයිනේ පාසල් බොහෝමයක වැඩකටයුතු අඩපන වූ බවයි. සියයට 80ක් පමණ ගුරු විදුහල්පතිවරු අද සේවයට වාර්තා කර නොමැති බවත්, රජයට හිතවත් ඇතැම් වෘත්තීය සමිති යොදාගෙන වැඩවර්ජනය කඩා කප්පල් කිරීමට ගත් උත්සාහය අසාර්ථක වූ බවත් ස්ටාලින් මහතා පවසයි. අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිත ගුරු විදුහල්පති අතුරු වැටුප් යෝජනාව, හිඟ වැටුප් සහිතව ක්‍රියාත්මක කිරීම, ගුරු විදුහල්පති උසස්වීම් ක්‍රියාත්මක කිරීම, හිඟ වැටුප්, ආපදා ණය, දේපළ ණය ඇතුළු ගුරු විදුහල්පතිවරුන්ට හිමි සියලූ ගෙවීම් සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම, දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් අධ්‍යාපනයට වෙන් කිරීම, අධ්‍යාපන ක්ෂේත්‍රය දේශපාලනීකරණය කිරීම නතර කිරීම, නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කිරීම යන ඉල්ලීම් මුල් කර ගෙන අද වැඩවර්ජනය පැවැත්වූ අතර රජය ජනවාරි මාසය වන විට නිසි විසඳුම් ලබා නොදුනහොත් නව පාසල් වාරයේ අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බව ද ජෝසප් ස්ටාලින් මහතා කියයි. ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය,ජාතික අධ්‍යාපන සේවක සංගමය, පොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමය, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය,එක්සත් ද්‍රවිඩ ගුරු සංගමය, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය, පළමු ශ්‍රේණියේ විදුහල්පති සංගමය, ස්වාධීන ලංකා ගුරු සංගමය, ලංකා විදුහල්පති සේවා සංගමය,ශ්‍රේණිධාරී විදුහල්පති සේවා සංගමය සහ සමස්ත ලංකා විදුහල්පති සේවා සංගමය අද වැඩවර්ජනයට එක්විය.