ගුරු විදුහල්පති සංගම් සටනට අර අදී


වසර 15ක් තිස්සේ කුමන වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගත්තත් බලධාරීන්ගෙන් මෙතෙක් විදුම් නොලැබුණු ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඇතුළු අධ්‍යාපනයට බලපාන ගැටලු කිහිපයක් මුල් කර ගනිමින්  වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවට ගුරු විදුහපති සංගම් නවයක නියෝජිතයන් අධ්‍යාපන ලේකම්ට දැනුම් දුන් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසයි. ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය ඇතුළු ගරු සංගම් රැසක් ඒකාබද්ධව මෙම අරගලය ගෙන යන බවත්, සිය ඉල්ලීම් ලැබෙන තෙක් අරගලය දිගටම ගෙන යන බවත් ඒ මහතා කියයි. අධ්‍යාපන ඇමති හා ලේකම්  ගුරු විදුහල්පති සංගම් සමග කිසිදු සාකච්ඡාවක් නොපවත්වා අත්තනෝමතිකව කටයුතු කරන බව ද ගුරු සංගම් නියෝජිතයෝ අධ්‍යාපන ලේකම්ට යැවූ ලිපියේ සඳහන්ය. ගුරු විදුහල්පති අතුරු වැටුප් යෝජනා හිඟ වැටුප් සහිත ක්‍රියාත්මක කිරීම, දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% අධ්‍යාපනයට වෙන් කිරීම ,ගුරු විදුහල්පති උසස් වීම් ලබා දීම, ආපදා ණය ඇතුළු සියලු දීමනා සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම, , අධ්‍යාපන ක්ෂේත්‍රය දේශපාලනීකරනය කිරීමෙන් වැලැක්වීම අදී ඉල්ලීම් රැසක් ලබා ගැනීම වෙනුවෙන් මේ දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගය ගැනීමට නියමිත බවත් හැකි ඉක්මණින් මේවාට විසඳුම් ලබා දෙන ලෙසත් ගුරු විදුහල්පති සංගම් නියෝජිතයෝ අධ්‍යාපන ලේකම්ගෙන් ඉල්ලා ඇත.