(ගයාන් සූරියආරච්චි)
අනාගතයේ ඇති වියහැකි ගැබ්ගෙල පිළිකා වැළැක්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයෙන් ක‍්‍රියාත්මක කරන ජාතික ප‍්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ‘හියුමන් පැපිලෝමා’ වයිරස එන්නත පාසල්වල 6 ශ්‍රේණියේ ඉගැනුම ලබන ගැහැණු දරුවන්ට එන්නත් කිරීම හෙට (03) සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
එම වැඩසටහන කෑගල්ල, ගම්පහ, කිළිනොච්චි යන දිස්ත‍්‍රික්කවලින් ආරම්භ කිරීමට නියමිත බව අප කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ මහත්මිය පැවැසුවාය.
වයස අවුරුදු 9 ත් 13 ත් අතර ගැහැණු දරුවන්ට මෙම එන්නත ලබාදිය යුතු අතර සෑම වසරකම එන්නත් මාත‍්‍රා දෙකක් වශයෙන් එන්නත් කළ යුතු වෙයි.
එක් එන්නතක් ලබාදී මාස 6 කට පසුව අනෙක් එන්නත ලබාදීම සිදුකෙරේ. දිස්ත‍්‍රික්ක තුනකින් ඇරැඹෙන මෙම ව්‍යාපෘතිය දිවයිනපුරා ව්‍යාප්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය බලාපොරොත්තුවේ.
හියුමන් පැපිලෝමා වයිරසය ආසාදනය වීමට පෙර මෙම එන්නත ලබාදිය යුතුය. එය සම මත සහ ශ්ලේෂ්මල පටල මත පැවැතිය හැකි වයිරසයකි. එමගින් ගැබ්ගෙලෙහි සෛලවල වෙනස්කම් ඇතිකර පිළිකාවක් බවට පත්කෙරෙන බවත් විශේෂඥ වෛද්‍යවරිය පැවැසුවාය.

