ගැබ් පිරික්සුම පිරිමියකුට


ඕමානයේ රැකියාවකට ගොස් සිටිය දී හාම්පුතා අතින් දූෂණය වීයැයි කියන කාන්තාව ගැබ් ගෙන නැතැයි එරට පෞද්ගලික රෝහලකින් ගත් වෛද්‍ය වාර්තා ගැන සැකයක් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශ ආරංචි මාර්ග කියයි.

ඕමානයේ   හාම්පුතා අතින් අතවරයකට ලක් වූ තමාට ලැබෙන්නට සිටි දරුවා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ සුරක්ෂා නිවසේ සිටිය දී බලහත් කාරයෙන් රැගෙන ගොස් බෙහෙත් දී නැති කර දැමූ බව කියමින් ශ්‍රී ලංකා ගෘහ සේවිකාවක සිය අත්අකුරින් ලියූ ලිපියක් ඇගේ සැමියා වෙත ලැබී ඇත.

අම්පාරේ සිට ඉකුත් ජනවාරි 13 වැනිදා ඕමානය බලා ගිය මේ කාන්තාවට ඇය සේවය කළ නිවසේ හාම්පුතා අතින් අතවරයකට ලක්වී එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ සුරක්ෂා නිවසේ සිටින බව ලංකාදීප මැයි 26 වැනි දා වාර්තා කළේය.

සිද්ධිය වාර්තා කිරීමත් සමඟ එරට ශ්‍රී ලංකා තානාපති අශෝක ගිරිහාගම මහතා එරට පොලිසියට හා රජයට පැමිණිලි කර විමර්ශනයක් ඇරැඹූ අතර පසුගිය සිකුරාදා (01) ඔහු වහා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවට කැඳැවීය.

ඕමානයේ සුරක්ෂා නිවසේ සිටින අම්පාරේ කාන්තාව එවූ ලිපියේ සඳහන් වන්නේ තමාට සාධාරණයක් වේ යැයි බලාපෙරොත්තුවෙන් මීට පෙර ලිපි දෙකක් ඉදිරිපත් කළත් මෙතෙක් සාධාරණයක් ඉටු වී නැති බවයි.

එහි සිටින දෙදෙනෙක් තමා බිය ගන්වා ගබ්සාවක් නොකළ බවට ලිපි දෙකක් ඉල්ලූ බවත්, ඔවුනට ඇති බියට තමා ලිපි දෙකක් ලියා දුන් බවත්, මේ වන විට තමා අසරණ වී ඇති බවත්, සාධාරණයක් බලාපොරොත්තු වන බවත් ඇගේ අත්අකුරින් ලියූ ලිපියේ සඳහන්ය.

ඇය ලවා බලහත්කාරයෙන් ලියවා ගත් බව කියන ලිපිය ද මේ වන විට ලංකාවට ලැබී ඇත. ඇගේ ඇඟිලි සලකුණද තබා ඇති එම ලිපියේ දක්වා ඇත්තේ අප්‍රේල් 29 වැනිදා තානාපති කාර්යාලයට පැමිණි තමා එදිනම වෛද්‍ය පරීක්ෂණයකට ලක් කළ බවයි. මුත්‍රා හා ලේ පරීක්ෂා කර තමාට ගැබ්ගැනීම් සිදුවී නැතැයි පැවසූ බවත්, තමා සුරක්ෂා නිවසේ සිටියදී කිසිවකු විසින් ගබ්සාවක් කරනු ලැබුවේ නැති බවත්, එවැන්නක් සිදු නොවූ බව දිවුරා ප්‍රකාශ කරන බවත්, මේ ලිපිය ලියන්නේ කිසිවකුගේ බලපෑමෙන් නොවන බවත් එම ලිපියේ සඳහන්ය.

ඔහුගේ සැමියා පැවසුවේ තානාපති කාර්යාලයයේ දී ඇය හා දුරකතනයෙන් කතා කරද්දී කිසිවකුගේ උගැන්වීමකට ඇය යම් යම් දේ කියන බව පෙනී යන බවයි. ඇය ගබ්සාවකට භාජනය කළ බවට යන ප්‍රවෘත්තිය සත්‍යදැයි විමසූවිට ඒ සියල්ල සත්‍ය බව ඇය කී බව ද ඔහු කීවේය.

මේ අතර අප්‍රේල් 29 වැනි දා ඇය වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමෙන් පසු ගබ්සාවක් සිදුවී නැතැයි සඳහන් වාර්තා කිහිපයක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රංදෙනිය මහතා ලංකාදීපයට ලබා දුන් අතර එම එක් වෛද්‍ය පරීක්ෂණ වාර්තාව සඳහන් වූයේ එය පිරිමියකු ගැබ්ගෙන ඇත්දැයි යන්නට කළ වාර්තාවක් බවයි.

එහි පරීක්ෂණයට භාජනය කරන්නාගේ නම ඉදිරියෙන් මේ කාන්තාවගේ නම ද, පරීක්ෂා කරන වෛද්‍ය වරයාගේ නම ඉදිරියෙන් ‘භාහිර රෝගියකු‘ ලෙස ද, ස්ත්‍රී පුරුෂ භාවය ඉදිරියෙන් ‘පුරුෂ‘ ලෙස ද සඳහන් කර ඇත.

මේ අතර සුරක්ෂා නිවසේ සිටින මේ කාන්තාවට කිසිවක් සිදු නොවීයැයි කියමින් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ උසස් නිලධාරියකු ඇය සමග කතා කිරීමට මාධ්‍යයට සලස්වා ඇතැයි ද, ඇය ලවා කියවා ගන්නා ප්‍රකාශ පටිගත කර ඇතැයි ද, පරීක්ෂණයක් තිබිය දී එසේ කිරීම සාධාරණ නොවන්නේ යැයි ද ඕමානයේ සිටින ශ්‍රී ලාංකියෝ කීහ.

ඇගේ ජීවිතයට හානියක් වුවහොත් එහි වගකීම ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ සුරක්ෂා නිවසේ නිලධාරීන් භාර ගත යුතු බව ද ඔවුහු කියති.

(මේ සිද්ධියට සම්බන්ධ විශේෂ හඬ පටයක් ලංකාදීප එසැණින් බලාපොරොත්තු වන්න)

(වෛද්‍ය වාර්තාව)

 

report-4

(ඇය මුහුණදුන් සිද්ධිය ඇගේ අත්අකුරින් ලියා එවූ ලිපිය)

017

(ඇය ලවා බලහත්කාරයෙන් ලියවාගෙන ඇඟිලි සලකුණ තබා ගත් බව කියන ලියුම)

IMG_236