ගලක් පෙරැළී පස්සර-නමුණුකුල මාර්ගය අවහිර වෙයි


( ඩි.කේ.රත්න )
පස්සර , නමුණුකුල හරහා බණ්ඩාරවෙල ප‍්‍රධාන මාර්ගයේ කොටුගහතැන්න දහතුණේ කණුව ප‍්‍රදේශයට අද (24) ගලක් පෙරළීමෙන් පස්සර නමුණුකුල  ප‍්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිරවී ඇතයි පස්සර පොලීසිය කියයි.

මේ දිනවල ප‍්‍රදේශයට ඇදහැලෙන වර්ෂාවත් සමඟ  මෙම මාර්ගයට ඉහළින් පිහිටි කදුවැටියේ පිහිටා තිබූ ගලක් මාර්ගයට ඇදවැටීම නිසා මාර්ගය මෙසේ අවහිර වී තිබේ.

මෙම මාර්ගය අවහිරවීමත් සමඟ  පස්සර සිට බණ්ඩාරවෙල දක්වා ධාවනය වන සියලූම බස්රථ මෙම ස්ථානය දක්වා ධාවනය වී මෙම ස්ථානයෙන් නැවත ආපසු හරවන අතර බණ්ඩාරවෙල සිට පස්සර දක්වා ධාවනය වන බස් රථ මෙම ස්ථානයට පැමිණ පස්සර සිට මෙම ස්ථානය දක්වා පැමිණි මගී ජනතාව රැගෙන නැවතත් බණ්ඩාරවෙල දක්වා ධාවනයවීමට කටයුතු යොදා තිබේ.

මේ ප‍්‍රදේශයට පැවති දැඩි වර්ෂාවත් සමග මාර්ගයට ඉහළින් පිහිටි ගල් කුට්ටි කඩා වැටීමේ වැඩි අවධානමක් පවතින බැවින් පස්සර සිට නමුණුකුල හරහා බණ්ඩාරවෙල දක්වා මෙම මාර්ගයේ ගමන්ගන්නා රථවාහන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරනන්නයි පස්සර පොලීසිය රථවාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටී.