ගම්මිරිස් මිල අඩුවීම ගැන හොයන්න කමිටුවක්


( තිළිණි ද සිල්වා )

ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ සහ දේශීය වෙළෙඳපොළ තුළ ගම්මිරිස් මිල පහළ යෑම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට කරුණු වාර්තා කිරීමට අමාත්‍යවරුන් හය දෙනෙකු ගෙන් යුතු අමාත්‍ය අනුකමිටුවක් පත් කර ඇත.

ඒ අනුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්  , ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ ,ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා , සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම ,කර්මාන්ත හා වානිජ අමාත්‍ය  රිෂාද් බදියුදීන් සහ වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකර අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා  යන මහත්වරුන් මෙම අමාත්‍ය අනු කමිටු සාමජිකයින් ලෙස පත් කරනු ලැබ තිබේ.

ගම්මිරිස් ගොවියාගේ ජීවනෝපාය හා ආදායම් සුරැකීම වෙනුවෙන් එම බෝග වගාවේ මිල අඩුවීම පිළිබඳ කරුණු පරීක්ෂා කර බලා නොපමාව වාර්තාවක් ඉදිරිපත් කීරීමටද එම අමාත්‍ය අනු කමිටුවට පැවරී ඇත.

මේ දිනවල ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ සහ දේශීය වෙළෙඳපොළ තුළ ගම්මිරිස් මිල පහළ ගොස් තිබීම හේතුවෙන් ගම්මිරිස් වගාකරුවන් අපහසුතාවට පත්ව තිබෙන අතර රටපුරා ගම්මිරිස් ගොවීහු විරෝධතා සිදු කළහ.