කෝටියක රන් සපත්තු අසුවේ


රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් වටිනා රත්තරන් කැබලි 24 ක් සපත්තු අස්සේ සගවාගෙන මුමිබායි බලා යාමට පැමිණි  ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  රේගු නිවාරණ මෙහෙයුම් ඒකකයේ නිලදාරීන් විසින්  අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ  අධ්‍යක්ෂක  ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

අත් අඩංගුවට ගත් රන් කැබැලි වල බර කිලෝග්‍රෑම් දෙකයි ග්‍රෑම් හාරසීයක් වු බව රේගුව  කියයි.

සැකකරුවෝ රාගම සහ කඳාන පෙදෙස් වල පදිංචිකරුවෝ වෙති. 

කාන්තාවෝ වයස 62  සහ 34 වියේ පසුවන අතර පිරිමි පුද්ගලයාගේ වයස අවුරුදු 37 කි.

මොවුහු ශ්‍රී ලංකන් ගුවන් සේවයට  අයත් යු.එල් 141 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමට  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙට පැමිණ ඇත.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ උපදෙස් මත රේගු අධිකාරීවරුන් වන සුදත් සිල්වා, නියෝජ්‍ය රේගු අධිකාරී ශාන්ත ප්‍රිය, සහකාර රේගු අධිකාරීවරුන් වන උපුල් ගෝනවල, හර්ෂ කුලසේකර, කුෂාන් ගුණවර්ධන, නිරෝෂ් කවිරත්න යන නිලධාරීහු සිදු කරති.