
(ටී.කේ.ජී.කපිල)
රුපියල් කෝටි 19 ක් වටිනා ස්වර්ණාභරණ , රන් බිස්කට් සහ විදේශ මුදල් තොගයක් කටුනායක ගුවන් තොටුපළෙන් නීතිවිරෝධී ලෙස පිට කිරීමට තැත් කරමින් සිටි පුද්ගලයන් තිදෙනකු ද සමග අත් අඩංගුවට ගැනීමට ගුවන් තොටුපළ රේගු නිලධාරීන් පිරිසක් ඊයේ (03) රාත්‍රීෙය් සමත් වී තිබේ.
කිලෝ ග්රැම් අට හමාරක් බරැති ස්වර්ණාභරණ සහ දෙකට කපා සකස් කළ රන් බිස්කට් මෙන්ම ඇමෙරිකානු ඩොලර් 75,000 ක් සහ යුරෝ 18,000 ක විදේශ මුදල් තොගයක් ද මොවුන් තිදෙනා තම ගමන් මලු සහ ඔවුන් ඇද සිටි කළිසම් සහ කමිස සාක්කු වල , විශේෂයෙන් සකස් කළ ව්‍යාජ පතුල් තුළ සගවා ගෙන සිටි බව ගුවන් තොටුපළ රේගු නිලධාරීවරයෙකු පැවසීය .
මෙසේ අත් අඩංගුවට ගත් 53 සහ 42 වයස් වල පසුවන ඉන්දීය ජාතිකයන් දෙදෙනා වෘත්තීය වශයෙන් මෙසේ දෙරටේ ගුවන් තොටුපළ ඔස්සේ රත්තරන් සහ විදේශ මුදල් ජාවාරමේ යෙදෙන්නන් බවට ගුවන් තොටුපළ රේගු නිලධාරීන් කරුණු අනාවරණය කර ගෙන තිබේ .
මෙසේ අත් අඩංගුවට ගත් 46 හැවිරිදි ශ්‍රී ලාංකිකයා නිතර නිතර ගුවන් ගමන් වල යෙදෙමින් , ව්‍යාපාරික කටයුතු වල නිරත වන්නෙකු බව ද ගුවන් තොටුපළ රේගුව පවසයි .
ඉන්දියාව සහ ඩුබායි යන රාජ්‍ය වලින් විශාල තොග වශයෙන් මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙන එන ස්වර්ණාභරණ , රන් බිස්කට් සහ විදේශ මුදල් , ගුවන් තොටුපළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයෙහි රැදී සිටින ව්‍යාපාරිකයන් සහ ජාවාරම්කරුවන් වෙත කුඩා ප්‍රමාණ වලින් යුතු කොටස් වලට වෙන් කර ලබා දී , ඒවා ගුවන් තොටුපළෙන් පිට කිරීම මොවුන්ගේ ප්‍රයත්නය වී ඇති බව ගුවන් තොටුපළ රේගු නිලධාරීන් හදුනා ගෙන තිබේ .
ඒ අනුව ඊයේ (03) රාත්‍රීෙය් ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් සහ අද(04) අලුයම 01.40 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.273 දරන ගුවන් යානයෙන් මෙම ස්වර්ණාභරණ , රන් බිස්කට් සහ විදේශ මුදල් තොගය කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් ඇති බව රේගු නිලධාරීන් සිදු කළ මූලික විමර්ශන වල දී සොයාගෙන තිබේ .
මේ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ යූ.ටී.බී.අලවතුගොඩ මහතා විසින් පැවැත්වූ අතර , එහිදී මෙම ස්වර්ණාභරණ , රන් බිස්කට් සහ විදේශ මුදල් සියල්ල රාජසන්තක කිරීමට නියෝග කළ අතර , මෙම පුද්ගලයන් තිදෙනාට රුපියල් 25,000 බැගින් රුපියල් 75,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ .



