
(ටී.කේ.ජී.කපිල)
රුපියල් පහලොස් කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා රන් බිස්කට් 60 ක් ඉනේ සඟවා ගෙන කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයකු අත් අඩංගුවට ගත් බව කටුනායක ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ කියයි.
මොහු ජා - ඇළ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි තරුණයෙකි.
කිලෝ 06 යි ග්‍රෑම් 995 ක් බරැති මෙම රන් බිස්කට් පාර්සල් 06 කට සකස් කර ඉන ප්‍රදේශයේ සගවා ගනිමින් ගුවන් තොටුපළෙන් පිට කිරීම සදහා රැගෙන යමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
පසුව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම පුද්ගලයා සහ ඔහු රැගෙන ගිය රන් බිස්කට් තොගය ගුවන් තොටුපළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබේ .
මෙම රන් බිස්කට් ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එන්නට ඇතැයි රේගු නිලධාරීන් සැක කරන අතර , මොහු ලවා මෙම රන් බිස්කට් තොගය ගුවන් තොටුපළෙන් පිට කිරීමට සූදානම් කර තිබූ බවට රේගුව සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ .


