කෝටි 12ක ගොඩනැගිල්ල දැන් ‘පොදු වැසිකිළියක්‘


(චන්දන ප්‍රනාන්දු)            

පසුගිය රජයේ ‘දැයට කිරුළ‘ වැඩ සටහන යටතේ 2013 වසරේ දී රුපියල් කෝටි 12 ක වියදමින් ආරම්භ කළ දන්කොටුව නගර  රංග ශාලාව හා සම්මන්ත්‍රණ ශාලාවේ වැඩ අවසන් නොකිරිම නිසා එම ස්ථානය ‘සල්ලාලයන්ගේ බේබද්දයන්ගේ හා කුඩු කාරයන්ගේ තිත්පොළක්‘ වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
 
විදුලිය ලබා ගැනීම,බිම සැකසීම හා ආසන සවි කිරිමට නොහැකිවීමෙන් ජනතාවගේ ප‍්‍රයෝජනයට ගැනිමටත් පෙරම ගොඩනැගිල්ල විනාශයට ලක්වෙමින් තිබීම ජාතික අපරාධයක් බව ජනතාව පවසති.

මෙම ගොඩනැගිල්ල පොදු වැසිකිළියක් බවට පත්වී ඇතැයිද ඔවුහු පවසති. ජනතා මුදල් නාස්ති කරමින් පසුගිය රජයෙන් සිදුකළ තවත් එක් සුදු අලියෙක් වීමට පෙර එහි වැඩ ඉක්මනින් අවසන් කර ජනතා අයිතියට  පත්කරන ලෙස ප‍්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.
                                            
“මේ ගොඩනැගිල්ලේ වැඩ අවසන් කිරිමට යම් ප‍්‍රමාදයක් තිබුණා.ඒත් දැන් අපිට ඉතුරු වැඩ ඉවර කරන්න රුපියල් ලක්ෂ 900 ක පමණක් මුදලක් ලැබිලා තියෙන්නේ.තව මාස කිහිපයකින් මෙහි වැඩ නිම කරන්න හැකි වේවි. මෙහි වැඩ නිමකළ පසුව පුත්තලම් දිස්ත‍්‍රිකකයේ පමණක් නොව වයඹ පළාතටම හොඳ සම්පතක් වේවි “යැයි දන්කොටුව ප‍්‍රාදේශිය ලේකම් ප‍්‍රින්ස් සේනාධීර මහතා  පැවසීය.