
(ටී.කේ.ජී.කපිල)
රුපියල් කෝටි දෙකක් පමණ වටිනා කිලෝ ග්‍රෑම් එකක් බරැති රන් බිස්කට් 08 ක් කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට රැගෙන ගිය ගුවන් තොටුපළ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීවරයෙකු අද (27) දහවල් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු කැළණිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීවරයෙකි.
ඩුබායි සිට පැමිණි අද (27) උදෑසන ඉන්දීය ජාතික ගුවන් මගියෙකු විසින් මෙම රන් බිස්කට් තොගය , කටුනායක ගුවන් තොටුපළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ දී මෙම ආරක්ෂක නිලධාරීවරයාට ලබා දෙන්නට ඇතැයි රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සැක පහළ කරති .
මෙම ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීවරයා මෙම රන් බිස්කට් තොගය තම කළිසම් සාක්කුවේ සගවා ගෙන ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ රේගු පරිශ්‍රය පසු කර ගෙන යෑමට උත්සාහ දරමින් සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .
කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් මෙම ආරක්ෂක නිලධාරීවරයා අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ .


