කොළඹ නගරයේ මාර්ග රැසක් ජලයෙන් යට වෙයි


(ඩයනා උදයංගනී)

කොළඹ නගරයට අද (4) පස්වරුවේ ඇද හැලූණු මහ වැසි හේතුවෙන් මාර්ග රැසක් ජලයෙන් යටවීම නිසා ජනතාව දැඩි පීඩාවකට පත්වූහ.

ඒ හේතුවෙන් කොළඹ නගරයේ දැඩි රථ වාහන තදබදයක් ද ඇතිව තිබිණි.

බොරැල්ල, තුම්මුල්ල, කොළඹ මහජන පුස්තකාලය අවට, හෝර්ට්න් පෙදෙස, විජේරාම, බේස්ලයින් පාර, මයිකල් වටරවුම ආදී ස්ථාන ගණනාවක් මෙලෙස ජලයෙන් යටව තිබිණි.

ඇතැම් ස්ථානවල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරී තිබෙනු දක්නට ලැබිණි.මේ හේතුවෙන් පිටකොටුව, කොළඹ නගර ශාලාව හා ඒ අවට ප‍්‍රදේශය, බේස්ලයින් පාර, තුම්මුල්ල,ආමර් වීදිය, බොරැල්ල ආදී ස්ථාන ගණනාවක දැඩි රථවාහන තදබදයක් පැවතිණි.

රැකියා නිමවී නිවෙස් කරා යන ජනතාව ඇතුළු විශාල පිරිසක් මෙයින් දැඩි පීඩාවට පත් වූහ. එමෙන්ම සවස් කාලයේදී කොළඹ නගරයේ දැඩි අදුරු ස්වභාවයක්ද පැවතිණි.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)