කොස්ලන්දට අධි ශීතකරණයක් නැතුව බෑ


කොස්ලන්ද මීරියබැද්ද නායගිය ස්ථානයේ වැළලී ගිය මිනිස් සිරුරු ගොඩගත් පසු ඒවා නිවැරදිව හඳුනාගැනීමේ ක්‍රමවේදය සඳහා අධි ශීතකරණ පහසුකම් අවශ්‍යව ඇතැයි විශේෂඥ අධිකරණ වෛද්‍ය එච්.ටී.කේ.විජේවීර මහතා පවසයි. එම ස්ථානයෙන් ගොඩගන්නා සිරුරු හා සිරුරු කොටස් නරක්වී ඇතැයි ද වෛද්‍යවරයා කියයි. එම සිරුරු හා සිරුරු කොටස් පිරිසිදු කර පුද්ගල අනන්‍යතාව සොයාගැනීම සඳහා ඒවා ගබඩා කිරීමේ අවශ්‍යතාවක් පැණ නැගී ඇත. කොස්ලන්ද රෝහලේ මේ සඳහා අවශ්‍ය ශීතකරණ පහසුකම් නොමැති බවත් ශීතකරණ පහසුකම් ඇති බදුල්ල රෝහලට ඇති අධික දුර හේතුවෙන් එහි ගබඩා කිරීම අපහසු බවත් අධිකරණ වෛද්‍යවරු කියති.

ගොඩගන්නා සිරුරු හා සිරුරු කොටස් ගබඩා කිරීමට අධි ශීතකරණයක අවශ්‍යතාව තිබෙන බැවින් ඒ සඳහා පරිත්‍යාගශීලීන්ගේ අවධානය යොමුකරන මෙන් විශේෂඥ අධිකරණ වෛද්‍ය විජේවීර මහතා ඉල්ලා සිටියි.