කොස්ගමත් නුරිවත්තක්


කොස්ගම කඩුගොඩ හා බොරළුගොඩ ප්‍රදේශයේ  දෙවසරක් පමණ තිස්සේ  සිදු වු බව කියන අමානුෂික  පහරදීම් ,දේපළ පැහැරගැනීම්,සොරකම් කිරීම්, නීතී විරෝධි ක්‍රියා ඇතුළු අපචාර ක්‍රියා  සම්බන්ධයෙන් පැමිණිළි ලබා  ගැනීම සදහා  පොලිස් විශේෂ කාර්ය බළකායේ  කඳවුරක් ආරම්භ කැර ඇත.

ප්‍රදේශයේ  පැතිර ගිය භීෂණකාරී තත්ත්වය සම්බන්ධයෙන්  ලත් පැමිණිළි මත  කොස්ගම පොලිස් ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරීක්ෂක  අරුණ ශාන්ත හේරත්  මහතා පසුගියදා හදිසියේම ස්ථාන මාරු කැර යැවිමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබිණි.

දැරණියගල නුරි වත්තේ   සිදු වු මැර ක්‍රියාවන්ට සමාන දේ  මෙහිදීද සිදු වී යැයි ගැමියෝ පවසති.

 පොලිස් විශේෂ සේවා   බළකායේ  නිලධාරීන් කිහිපදෙනකුගෙන්  යුත් මෙම කඳවුර කොස්ගම සුමේධ විදුහලේ පිහිටා ඇත.

කටුගොඩ ප්‍රදේශයේ   කසිප්පු ජාවාරම්කරුවෙක්ගේ මෙහෙයවීමෙන්  මෙම අපරාධ  කාලයක්  තිස්සේ  සිදුව ඇතැයිද ඒ සදහා  පොලිසියේ සිටි  ඇතැම්  ප්‍රධානීන්ගේද සහාය ලබා ඇතැයිද ඔවුහු  චෝදනා කරති.

 ආරක්ෂක අංශයේ  නිලධරයකුගේ පෞද්ගලික මෝටර් රථය  පවා  මෙම කසිප්පු ව්‍යාපාරිකයා විසින්  පරිහරණය කරන ලදැයි ගැමියෝ කියති.

අපරාධකරුවන්ට රැකවරණය හා සහයෝගය ලබා දී  ඇතැයි කියන  ආරක්ෂක අංශ ප්‍රධානියා  බුදුදහම ගැන දේශනා  පැවසු බවද ගැමියෝ පවසති.

 මත් උවදුර  සම්බන්ධයෙන්  විරෝධය  පළ කළ  මහා සංඝරත්නයට මෙම දාමරික පිරිස්  ගිනි අවි පෙන්වා තර්ජනය කැර ඇතැයිද කියති.

මේ  ගම්මානයේ තත්ත්වය  පිළිබදව අදහස් දැක් වු  කොස්ගම  මුණ්ඩ්ගල සුමනගිරි  ආරණ්‍ය සේනාධිපති   අසරණ සරණ  මිල්ලෑවේ  මහින්ද නා හිමියෝ මෙසේ කීහ.

 ‘මම  කොස්ගම ප්‍රදේශයේ සිදු වන නිති විරෝධි ක්‍රියා ගැන මාධ්‍යට කියන්න බය නෑ. වසරක් පාසාම කොස්ගම භක්ති ගිත අවුරුදු  උත්සව  පවත්වනවා. මෙවරද පැවැත්වුණා. ඒවාට ආරක්ෂාව දීම තමයි පොලිසිය කරන්නේ.

ප්‍රභූ නිවෙස්වලට ගොස් රුපියල්  50000 ,25000 බැගින් සල්ලි එකතු කළා. ඒ සල්ලිවලට වුණ දෙයක් නෑ.  කොස්ගම ප්‍රදේශයේ  පුරාවටම මහා පරිමාණ කුඩු  ජාවාරම් තියෙනවා පොලිසියත් ඒ ගැන දන්නවා.

 

 දිනක් උදෑසන මම ආරණ්‍යයේ  මිදුල අතුලගාමින් සිටියා. යතුරු පැදියකින් පුද්ගලයකු ආවා .යතුරුපැදිය නතර නොකර හරවා මට මෙහෙම කිව්වා.  ‘නායක හාමුදුරුවනේ  අපේ වැඩවලට අත ගහන්න එපා.කුඩු වික්කට හාමුදුරුවන්ට ඇති කැක්කුම  මොකක්ද? මේකෙන් එකෙක් යැව්වා  වැඩිය දැඟලුවොත් මේකෙන් කන්න තමයි වෙන්නේ’ කියා පිස්තෝලයක්  පෙන්නුවා. අද කොස්ගම තියෙන්නේ මෙවැනි තත්ත්වයක් .’’

 එක්තරා පුද්ගලයකු  මුළු ගමම බිය වද්දවාගෙන දෙවසරක් පුරාව කඩුගොඩ දෙහිගහවත්තේ  මහා පරිමාණ  ස්කාගාරයක් පවත්වාගෙන  ගොස්  ඇති අතර ඊට අමතරව  මං  කොල්ලකෑම්  ගෙවල් බිදිම්  ඇතුළු  අපරාධ රැසක්ම   සිදු කැර ඇති බව  ප්‍රදේශවාසිහු   කියති.

ඉකුත් මස 27 වැනිදා  අලුයම  වලාන දුෂණ මර්දන ඒකකය  එම ස්කාගාරය වටලා  ප්‍රධාන සැකකරු ගේ බිරිය අත්අඩංගුවට ගෙන ඇති අතර  ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවද  නුරී වත්ත මෙන්ම ඔහු සිය  අණසක පතුරුවාගෙන ඇතැයි  ගම්වාසීහු කියති.

ඔහුගේ පහර කෑම්වලට ලක් වී  බරපතල තුවාල ලත් කොස්ගම අරපත් ගම  වෙන්දේසි වත්තේ  ඩබ්ලිව් ජී සුනේද්‍ර ඉන්දික (39) මෙසේ කීවේය.

 මම කොළඹ ගොස් පැමිණ රාත්‍රී 9 ට පමණ ගේ ඇතුලේ  සිටියේ . කසිප්පු  ගැන ඔත්තු දෙනවා  ඔහු සැකයෙන් හිටියේ තුන්දෙනෙක්  සමග අපේ ගෙදරට ආවා ඔවුන්ගේ අතේ පොලු තිබුණා. මට ඉන්දික ඉන්දික කියලා කථා කළා.ඔවුන් මට පොලු වලින් ගැසුවා.පහරදෙනවාට බයේ මගේ භාර්යාව වෙන ගෙදරකට දිව්වා.ඇය එතැන සිට දුරකථන‍යකින් දැනුම් දී තිබෙනවා. නමුත් පොලිසියේ කිසිම කෙනෙක් ආවේ නෑ.පස්සේ මම රාත්‍රී 10 ට පමණ පොලීසියට ගොස්  රෝහල් ගත වුණා.ඒ නඩුව තවමත් විභාග වෙමින් පවතිනවා.

 බොරළුගොඩ වලව්වත්තේ  ජී බී අමරසේන (62)

බොරළුගොඩ මහ ගෙදර  හෙවත්  වලව්වත්තට අයත්  රැපියල්  ලක්ෂ  දහයක් පමණ හරකුන් වරින් වර සොරු ගත්තා .රොබට් ගුණවර්ධන  මහතාගේ පුත්  විජිත ඥානවර්ධන  මහතාට තමයි  ඒ  හරක්  අයිතිය තිබුණේ.ඔක්කොම හරකුන් 15 ක් විතර නැති වෙලා.නමුත්  ඒ ගැන පොලීසියට ගිහින් පැමිණිළි කරන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ පැමිළිළි භාර ග්න්නේ නෑ.පොලීසිය කියන්නේ ඒකට ඔයාලා වගකියන්න ඕනෑ. ඒ වගකීම අපට භාර ගන්න බෑ කියලා. ඒ නිසා මම රජයේ ඇමැතිවරයකුට දැනුම් දිමට කටයුතු සැලසුවා. ඒ ඇමැතිගේ ගෝලයකුගේ මාර්ගයෙන්.පසුව පැමිණිල්ල භාර ගත්තා. ඒ හරකුන් ගෙන ගියා කියන සැකකරු සොයාගෙන මම ගියා . නමුත් හොයාගන්න බැරි නිසා මම නැවත පොලීසිට ආවා.ඊට පස්සේ මම  පොලිස් නිලධාරීන්ගෙන් ඇසුවා ඔබතුමාලා මේ හොරුන් ගැන දන්නවා නේද කියලා ඔවුන් කීවේ ඔව් අපි දැනගෙන හිටියා යන්නයි. ඔවුන් කලින් මේ හොරුන් ගැන දැනගෙන ඉඳලා තියෙනවා .පසුව මම හරකුත් එපා සල්ලිත් එපා කියලා පොලිසියෙන් ආවා.’

කොස්ගම  සාලාව කැඩුම් බිදුම් වෛද්‍යාචාර්ය  ආර් ඒ ඩී  අනුර කාන්ත මහතා

 මම පාරම්පරික කැඩුම් බිදුම් වෙදකම කරන්නේ. පසුගිය  මාර්තු  හත් වැනිදා  බේත් සාප්පුව වහලා එ රාත්‍රි 8 30 ට පමණ  මගේම ත්‍රිරෝද  රියෙන්   එමින් සිටියා ඒ වේලාවේ තුන්දෙනකු පාරට පැන ත්‍රිරෝද  රථයට ගමන් කිරිමට නොහැකි අයුරින්  මාර්ගය  අවහිර කළා.ඔවුන් මා එළියට ඇදලා ඇස් දෙක රෙදි පටියකින් බැන්දා. පස්සේ  අත් දෙක පිටුපස්සට බැද පිටුපස ආසනයට  දමා ගත්තා.පිරිසක් මා අල්ලාගෙන සිටියා. ඔවුන් ත්‍රිරෝද රථය පන ගන්වාගෙන  ගියා.අතේ තිබුණු මුදු , බ්‍රේස්ලට් එක   හා ජංගම දුරකථනය පැහැර ගත්තා.  පසුව රබර් කැලයකට ගිහින් දැම්මා අමාරුවෙන් පණ බේරා ගත්තා.පුව කොස්ගම පොලිසියට පැමිණි කළත් මෙතෙක් කිසිදු විසදුමක් නෑ.

 කොස්ගම සාලාවත්ත මුත්තුමාරි කෝවිලේ සභාපති බී චන්ද්‍ර කුමාර (37)

මේ ප්‍රදේශයේ  ජනතාවගේ පුජනීයත්වයට පත් වුණ  කෝවිල තමයි මේක,හින්දු බැතිමතුන්ගේ  ආධාර එකතු කරලා  මුදලින් රුපියල් ලක්ෂයක් වටිනා  තඹ පිත්තල පත්තිණි මෑණියන්ගේ ප්‍රතිමාවත් හොරු අරන් ගියා . පිත්තල පහන් දා හතක් සොරකම් කළා .මෙහේ ඉන්නේ  දෙවියන් පවා සොරකම් කරන පිරිසක් .පාදුක්ක ,ඉංගිරියවත්ත ප්‍රදේශවලත්  සොරකම් රැසක් සිදු වුණා. මේ ගැන පොලීසියට පැමිණිලි කළත් හොද ප්‍රතිචාරයක් නෑ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන  මහතා පැවසුයේ  මෙවැනි දෙයක් ගැන වාර්තා වි නැති බවයි. මේ ගැන සොයා බලන බවද ඔහු කීවේය.