කොටුව උසාවියෙන් පොලිසියට දොස්


උසාවි නියෝග කඩ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යෑමේ දී පොලිසියේ රාජකාරියට බාධා කළැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ විශ්ව විද්‍යාල සිසුහු නව දෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් රුපියල් ලක්ෂයේ ශරීර ඇප දෙකක් මත මුදා හරිනු ලැබූහ.

තවත් සිසුන් හතර දෙනකු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය අධිකරණයට දැන්වීය.

විශ්ව විද්‍යාල සිසුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා දැන්වූයේ පොලිසිය සිසුන්ට පහර දී ඇති බවයි. ඉතිරි සිසුන් සිව් දෙනා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව ද නීතීඥවරයා කීවේය.

තමන් අවම බලය භාවිත කළ බව පොලිසිය මහේස්ත්‍රාත්ට කීවේය.

මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා පැවසුවේ අවම බලය යනු ඇස් එළියට පනින තුරු පහර දීම නොවන බවයි. විශ්ව විද්‍යාල සිසුන් වැනි තරුණ පිරිසක් සමග කටයුතු කිරීමේ දී පොලිසිය ඔවුන්ගේ හැඟීම් තේරුම් ගෙන කටයුතු කළ යුතු බව ද මහේස්ත්‍රාත් කීවේය.

මහේස්ත්‍රාත්වරයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සිසුන් හතර දෙනා බැලීමට යෑමට නියමිතය.