කොටි අඬු බඬු ඉතාලියේ හොල්මන් කරයි
ශ්‍රී ලංකා රජය යුද අපරාධ කළ බව කියාපාන දැවැන්ත රැස්වීමක් ඉතාලි දමිල සංවිධානය මෙහෙය වීමෙන් යුරෝපා කොටි ජාලයේ උපදෙස් පරිදි ඔක්තෝබර් 26 වැනි දා සවස හතරට ඉතාලියේ ලෙව්වේ නගරයේ පලස්සෝ තුරස්සා පලුම්බෝ සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්වීමට යයි. මේ සඳහා යුරෝපයේ රටවල් හයකට අයත් කොටි නියෝජිතයින් සමග රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක නියෝජිතයින් පැමිණීමට නියමිත බව දමිල ආරංචි මාර්ග පවසයි. ඉතාලියේ ඉන්තේග්රා ඔන්සුල් නැමති රාජ්‍ය නොවන සංවිධානය මේ සඳහා පූර්ණ අනුග්‍රහය දක්වයි. එම සංවිධානය කියා සිටිනුයේ ඉතාලි රජයේ සිවිල් සංවිධාන කිහිපයක සහයෝගය මේ සඳහා දෙන බවයි. ශ්‍රී ලංකා යුද හමුදාව යුද්ධය අතරතළ ළමයින් හා වැඩිහිටි මිනිසුන් විශාල වශයෙන් ඝාතනය කළ බවත් හමුදා සෙබළුන් තවමත් උතුරේ දමිල කාන්තාවන් බලහත්කාරයෙන් දූෂණයට ලක් කරන බවත් කියමින් රජය අපකීර්තියට පත් කිරීම ඔවුන්ගේ උත්සහාය බවත් කියති. ඉන්තේග්රා ඔන්සුල් සංවිධානයේ ප්‍රධාන ක්ලෝදිනා කුකා කියනුයේ තම සංවිධානය ලෝකයේ බොහෝ රටවල අසාධාරණයට ලක්වන ජාතීන් වෙනුවෙන් පෙනී සිටින බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව වෙනුවෙන් කොටි සංවිධානය මෙලෙස සූදානම් වන බව ඉතාලි ශ්‍රී ලාංකිකයෝ පවසති.

