කුරුන්දිමලෙයි විහාර භූමියෙන් පැරණි ස්ථූපයක කොටසක් මතුකරගනී


(රොමේෂ් මධුෂංඛ)
              
මුලතිව් කුරුඳුමලෙයි නොහොත් කුරුන්දිමලෙයි පුරාවිද්‍යා භූමියේ සිදු කරන ලද කැණීම් වලින් මේ වන විට අනුරාධපුර යුගයේ පළමු සහ දෙවන සියවස්වලට අයත් පුරාණ ස්තූපයක කොටසක් සහ කොත් කැරැල්ල (යූප ගල) මතු කරගෙන ඇති බවට කැණීම් බාර පුරාවිද්‍යා නිලධාරීන් පවසති.

කබොක් ගලින් සාදන ලද මෙම ස්ථූපයේ උස දළ වශයෙන් මලුවේ සිට මීටර් 6. 70 ක් පමණ වන අතරම මේ වන විට මීටර් 3 කට උසකට දළ වශයෙන් මතුකරගෙන ඇති බවටත් ස්ථූපය තවත් පොළොව යටට ඇති හෙයින් නිශ්චිතවම උසක් මෙතෙක් ප්‍රකාශ කිරීමට නොහැකි බව ඔවුහු පවසති.

ඊට අමතරව අඩි දෙකකට ආසන්න උසකින් යුතු යූප ගලක් ද මතුකරගෙන ඇති අතර එයද පොළව යටට තවත් ඇති බවට කැනීම් භාර පුරාවිද්‍යා නිලධාරීන් පැවසීය.

අක්කර 87 ක භූමියක ඇති මෙම පුරාවිද්‍යා නටඹුන් 2020 නොවැම්බර් මස 26, 27 සහ 28 දිනයන්හි පුරාවිද්‍යා නිලධාරීන් විසින් පළමුව අනුරාධපුර අවසන් යුගයට අයත් යැයි පැවසෙන පුරාතන සෙල්ලිපියක් ගඩොලින් කරන ලද ස්ථූපයක් ඇතුළු ශිලා කුළුණු, සඳකඩ පහන් වැනි නටඹුන් රැසක් සොයා ගැනීමෙන් පසුව එම නටඹුන් හමු වූ ස්ථානයට මීටර් 300 කට පමණ නුදුරින් සිදු කරන ලද කැනීම් වලදී මෙම කබොක් ගලින් නිර්මාණය වූ ස්ථූපයක් සහ යූපගලක් සොයා ගෙන තිබේ.

කෙසේ වෙතත් මේ වන විට අදාළ ස්ථානයේ කැණීම් කටයුතු ආරක්ෂක අංශ වලද සහය ඇති සිදුකරමින් පවතින අතරම කැණිම් කටයුතු නවතන ලෙසට දෙමළ ජාතික සන්ධානය ඇතුළු දෙමළ පක්ෂ කිහිපයක් විසින් විරෝධතාවය පළ කර ඇත.

නමුත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පවසා සිටින්නේ උතුරු නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන වැඩි ප්‍රමාණයක් හානි සිදුව ඇති අතර ඒවා යුද්ධය හේතුවෙන් හෝ නිධන් සොරුන් විසින් හානි සිදු කර ඇත්දැයි යන්න සොයා බලන බවයි.

කුරුන්දිමලෙයි නටඹුන්වල කැණීම් සිදු කර ඒවා මතුකරගත හොත් එහි වාසිය ප්‍රදේශයේ ජනතාවට බැවින් ජනතාව කිසිවිටකත් මෙම කැණීම් වලට විරෝධයක් පල නොකරන අතර කැණීම් සඳහා විරෝධයන් පල කරන්නේ සුළු පිරිසක් පමණක් බවයි.