කළුතර හෙට්ටිමුල්ලේ ඇළක් අයිනේ තිබූ කිඹුල් බිත්තර 36ක් පොලිසියට භාර දුන් බව බේරුවල පොලිසිය කියයි.
ලෝකයේ දැකිය හැකි විශාලතම උරගයා ලෙස සැළකෙන කිඹුල් විශේෂ දෙකක් ශ්‍රී ලංකාවේ දක්නට ලැබේ. ඉන් තෙත් කලාපයේ සිටින කිඹුල් විශේෂය ගැට කිඹුලන් ලෙසත් වියළි කලාපයේ දක්නට ලැබෙන කිඹුල් විශේෂය හැල කිඹුලන් ලෙසත් හැඳින්වේ. කිඹුලන් ශ්‍රී ලංකාවට ආවේණික නොවූව ද ඔවුන් වනසත්ව හා තුරුලතා ආරක්ෂණ ආඥා පනත අනුව අධි ආරක්ෂිත සත්ත්වයෙක් ලෙස නම්කැර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නීතීඥ ජගත් ගුණවර්ධන මහතා මෙසේ කීවේය.
'' කිඹුලා අධි ආරක්ෂිත සත්ත්වයෙක් . ඒ නිසා අල්ලා ළඟ තබා ගැනීම, මරා දැමීම, මස් සඳහා විකිණීම හෝ මස් ළඟ තබා ගැනීම, ඔවුන්ගේ වාසස්ථාන විනාශ කිරීම, බිත්තර කූඩුවළින් ඉවත්කිරීම, බිත්තර ළඟ තබා ගැනීම යන සියළු කාරණා නීතිය හමුවේ වරදක් . මේ බව වන සත්ත්ව හා තුරුලතා ආරක්ෂණ ආඥා පනතේ 30 වැනි වගන්තියේ දෙවැනි උප වගන්තියේ පැහැදිලිව දක්වා තිබෙනාව. ඒ නිසා කිඹුල් බිත්තර ස්වභාවික පරිසරයෙන් ඉවත්කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් . "